ත්‍රිරෝද කර්මාන්තය හරහා මිලියන 4කගේ ජීවනෝපාය රැකෙනවා – ධනනාත් ප්‍රනාන්දු

ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රිරෝද රථ සඳහා ඇතිව තිබෙන ඉල්ලුම සමාජ අවශ්‍යතාව අනුව ඇති බවත්, ත්‍රිරෝද රථ කර්මාන්තය හරහා සෘජුව හා වක්‍රව මිලියන හතරකට වැඩි පිරිසකට ආදායම් මාර්ග නිර්මාණය කර ඇති බවත් ඇඩ්වොකාටා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු පැවසුවේය.

ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රිරෝද රථවල අවශ්‍යතාවය පැහැදිලි කරන ධනනාත් ප්‍රනාන්දු සඳහන් කරන්නේ ත්‍රිරෝද රථ සමාජයෙන් ඉවත්වුවහොත් එය සමාජයට විශාල කම්පනයක් ඇති කරන බවය. එමගින් සමාජ ආර්ථික හා දේශපාලනික ගැටලු ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වන ධනනාත් ප්‍රනාන්දු මෙසේද කියයි.

 

ඇඩ්වොකාටා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

ත්‍රිරෝද රථය යනු ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය විවිධාකාරයෙන් සමාජය හා බද්ධවූ වාහනයකි. මේ වනවිට රටපුරා ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි. මේ සියලු ත්‍රිරෝද රථ කුලී රථ ලෙස භාවිත වන ඒවා නොවේ. විවිධාකාර භාණ්ඩ ප්‍රවාහනය, පෞද්ගලික භාවිතය වැනි විවිධ අවශ්‍යතා එමගින් සපයා ගැනේ. එමගින් ජීවිතය ගැටගසා ගන්න සංඛ්‍යාව මිලියන තුනකට ආසන්නය. මේ කර්මාන්තයෙන් යැපෙනා ක්ෂේත්‍ර බොහෝය. මූල්‍ය පහසුකම් සපයන ආයතන, රක්ෂණ ආයතන, අමතර කොටස් අලෙවි කරන්නන්, අලුත්වැඩියා කරනා ගරාජ සහ සේවා සපයන්නන් වැනි ක්ෂේත්‍ර ගණනාවක විහිදුන ලක්ෂ ගණනක් වන ජනතාවක් එමගින් සිය ජීවිකාව සරි කරගනී. ඊට අමතරව ත්‍රිරෝද රථ ඇසුරෙන් ගොඩ නැගුන වෙනමම උප සංස්කෘතියක්ද ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේය. එහිදී ත්‍රිරෝද රථ සඳහා රෙදි ගසන්නන්, විවිධ අලංකරන උපකරණ නිපදවන්නන්, සවිකරන්නන්, ස්ටිකර් ගසන්නන් වැනි විශාල පිරිසක් අපේ මතකයට එයි. අවසාන සංඛ්‍යාවක් ලෙස ගතහොත් ත්‍රිරෝද රථ ආශ්‍රයෙන් සෘජු හා වක්‍ර ලෙස ජීවිතය ගෙනයන පිරිස මිලියන හතරකට වැඩි මිස අඩු නොවේ. ඒ අනුව මේ වන විට ත්‍රිරෝද රිය ගැන ඇතිව තිබෙනා ඉල්ලුම සමාජ අවශ්‍යතාවක් මගින් නිර්මාණය කළ එකක් විනා වෙනත් අවශ්‍යතාවක් මත නිර්මාණය වූවක් නොවනා බව පැහැදිලිය.

යටත් විජිත සමයේ ලංකාවේ කුලී ගමන් සඳහා යොදවා ගත්තේ රික්ෂෝවයි. පසුව ඒ තැන බක්කි කරත්තයට හිමි විය. ඉන් පසු කාලයක මොරිස් මයිනර් ටැක්සිය එතැනට ආදේශ විය. වර්තමානයේ කුලී මගී ප්‍රවාහනයේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රිය බව පැහැදිලිය. ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රිරෝද රථ විවේචනයට ලක් කරනා පාර්ශ්ව නගනා තර්කයක් වනුයේ අතීතයේ කුලී මෝටර් රථ (ටැක්සි) භාවිත කළ අප වර්තමානයේ ත්‍රිරෝද රිය කෙරෙහි යොමු වීම රටක් ලෙස ආපස්සට යාමක් බවය. මේ වූ කලී අතිශය ප්‍රාථමික තර්කයකි. ප්‍රවාහන මාධ්‍යයක් ජනප්‍රිය වීම සිදුවන්නේ එහි කාර්යක්ෂම බව මුල්කරගෙනය. රටේ පවතින සමාජ, ආර්ථික සන්දර්භයද ඊට බලපානා බව පෙනේ. නාගරිකව නවාතැන් සපයා ගත නොහැකි, පොදු ප්‍රවාහනය අවසාන කිලෝමීටරයටම යොදාගත නොහැකි ජනතාවට සිය ගමන් අවශ්‍යතාව සපුරා ගැනීම දෛනික අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුන් ත්‍රීරෝද රිය යොදගන්නේ එහි කාර්යක්ෂම බව නිසාය. ආරක්ෂාව එහිදී බලපානා වැදගත් කාරණාවකි. එය මෝටර් රියක් යොදාගැනීමට වඩා ලාභ දායකය. නඩත්තුවද ලාභදායකය, වැය වන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකි. එය ජාතික වශයෙන් ගත්තද ලාභ දායකය. මන්දයත් ඉන්ධන ආනයන සඳහා වැයවන්නේ රටේ විනිමය වන බැවිනි. ඉන්ධන හිඟය පැවති සමයේ මෝටර් රථවලට සාපේක්ෂව ත්‍රිරෝද රිය සඳහා ලබා දුන්නේ අඩු ඉන්ධන කෝටාවකි. එහෙත් එකී අඩු ඉන්ධන ප්‍රමණයෙන් විශාල මගී සහ භාණ්ඩ ප්‍රවාහනයක් සිදු විය. ප්‍රවාහනයේදී ත්‍රිරෝද රිය සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවන්නේ එහි කාර්යක්ෂම බව නිසාය. ඊට වඩා හොඳ විකල්පයක් හමුවේ මිස බලහත්කාරයෙන් එකී ඉල්ලුම වෙනස් කළ නොහැක.

සාමාන්‍යයෙන් නාගරික සමාජයේ ත්‍රිරෝද රථ සුලබය. එහෙත් එය ග්‍රාමීය සමාජයට එය ඊට වඩා දැඩිව බැඳී අත්තේය. විශේෂයෙන් ග්‍රාමීය පළාත්වල සහ වතු ආශ්‍රිතව නිෂ්පාදනය වන බොහෝ දේ ළඟම වෙළඳපොළට ගෙන එන්නේ ත්‍රිරෝද රිය මගිනි. ඒ අනුව ගෙවතු ආශ්‍රිතව සුළු පරිමාණයෙන් නිපදවන එළවළු, පළතුරු, කිරි මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ තේ දලු පවා නගරයට හෝ ප්‍රධාන පාරක් අසලට ගෙන එන්නේ ත්‍රිරෝද රථ මගිනි. රාත්‍රියේ රෝගියෙක් රෝහල වෙත ගෙන යෑමට, දරුවන් පසැල් ගෙනයෑමට වැනි දේ සඳහා ද ත්‍රිරෝද රථ යොදාගනී. වතුකරයේ සහ ග්‍රාමීය පළත්වල ඇති පටු මවත් ඔස්සේ පහසුවෙන් ධාවනය කිරීමට හැකිවීම ඊට ප්‍රධාන හේතුවකි. එමතුදු නොව නාගරික සමාජයේ සේවා සහ නිෂ්පාදන ග්‍රාමීය සහ තදාසන්න නගර වෙත ගෙන් යාමේදීද ත්‍රී රෝද රථ විශාල මෙහෙයක් කරනු ලබයි. ඊට දිය හැකි හොඳම උදාහරණය බේකරි නිෂ්පාදන රැගෙන උදේ පාන්දරින් ගමට එන “චූන් පාන්” කරුවන්ය. යම් හෙයකින් ත්‍රිරෝද රථ සමාජයෙන් ඉවත් වුවහොත් එය මහත් කම්පනයක් සමස්ත සමාජය මත ඇතිකරනු ඇත. එමගින් සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රැසක් ඇතිවිය හැක. ත්‍රිරෝද රථ පිළිබඳව සෘනාත්මක අදහස් සමාජ ගත කරන්නන් දැඩිව සිතට ගතයුතු කරුණක් වනුයේ කෙටිකලක් තුළ ත්‍රිරෝද රිය මෙතරම් වේගයෙන් සමාජ ගතවනුයේ සමජයේ අවශ්‍යතාවක් සපුරාලීමට බවය. එහෙයින් යම් දිනයක පුළුල් සමාජ සංවර්ධනයක් සිදුවුවහොත් පමණක් ත්‍රිරෝද රිය සඳහා ඇති ඉල්ලුම යම් පමණකින් අඩු විය හැක. එහෙත් එවැන්නක් සඳහා ඊට පෙර සිදුවිය යුතු සමාජ, දේශපාලන සහ ආර්ථික පරිවර්තනයන් රැසකි.

ප්‍රදීප් සමරකෝන්

www.divaina.lk

Social Sharing
අවකාශය නවතම