
2015 වසරේ යාපනයේ සිවලෝගනාදන් විද්‍යා යන පාසල් දැරිය පැහැර ගෙන ගොස් අපයෝජනය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම අභියාචනාව විභාග කිරීමට නියමිතව ඇත්තේ ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දීය.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දී ඇති අතර ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවත් ඒ අනුව නොවැම්බර් හය වන දා අභියාචනා විභාගය කිරීමට නියමිතව ඇත.
මෙම දැරිය 2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබීය.
විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
