PTA යටතේ මාධ්‍යවේදී කුමනන්ගෙන් ප්‍රශ්න කිරීම ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකී.

 

රටේ පවතින නීතිය යටතේ, සාධාරණ සහ යුක්ති සහගත කරුණු අරභයා ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වන අවස්ථාවන්හි දී නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත අවශ්‍ය සහය ලබාදීමට නීතීගරුක පුරවැසියන් ලෙස තම සංගමය නිරන්තරව කැපවී සිටින බව ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේ වෙතින් ප්‍රශ්න කිරීම හෙළා දකිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් ඉදිරිපත් කරමිනි. ඒ අනුව ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මංජුල බස්නායක සහ ලේකම් තුෂාරා සෙව්වන්දි විතාරණගේ අත්සනින් යුතු එම නිවේදනයේ සඳහන් කරන්නේ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සහ ඔවුන් ගැන විමර්ශනය සඳහා මතභේදයට තුඩු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවයි.

එබැවින් මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් එම සංගමයේ දැඩි විරෝධය මෙයින් පල කරන බවත් ඔහු සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ මුලතිව්, අලම්පිල්හි පිහිටි උප ඒකකයේ දී අගෝස්තු 17 වැනිදා  දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර තිබුනේ ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් ඔහු කැඳවීම ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබියදීය.

Social Sharing
අවකාශය නවතම