
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව වෙනත් ඕනෑ ම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් වේ. ඒ අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද රුපියල් 20, 50, 100, 500, 1000 සහ රුපියල් 5000 දැනට ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු වේ.
හිතකර මූල්‍ය පද්ධතියක් සඳහා පදනම සුරක්ෂිත මුදල් වන බැවින් ව්‍යාජ මුදල් නෝට්ටුවලින් අව්‍යාජ මුදල් නෝට්ටු පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටු නිර්මාණයේදී ඒ තුළට ආරක්ෂණ සලකුණු ඇතුළත් කරයි. මෙම ආරක්ෂණ සළකුණු ලෙස දිය සලකුණ, ආරක්ෂණ නූල, වැරගැන්වූ කොන්, විනිවිද පෙනෙන සලකුණ, ඉතා කුඩා අක්ෂර, දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ ආදිය ආරක්ෂණ සලකුණු බව මහ බැංකුව සඳහන් කරයි.
එක් එක් නෝට්ටුවේ මුහුණත දකුණුපස දක්වා ඇති පක්ෂීන්ගේ රූපය අදාළ නෝට්ටුවේ “දිය සලකුණ” වන අතර තව ද නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතට ඉලක්කම්වලින් පවතී. ආරක්ෂණ නූල නෝට්ටුවෙන්, නෝට්ටුවට වෙනස් වන අතර රු. 100, 50 සහ 20 නෝට්ටුවල “CBSL”යන අක්ෂර සහ අදාළ නෝට්ටුවේ වටිනාකම, Rs.100, Rs.50 යනාදී වශයෙන් නෝට්ටුවේ සිරස් අතර ඇතුළත් කර ඇත. රු. 5000, රු. 1000 සහ රු. 500 යන නෝට්ටුවල පිළිවෙළින් මි.මී. 3, මි.මී. 2.5, මි.මී. 2 යන පළලින් යුතු වූ, රතු සහ කොළ ලෙස වර්ණය වෙනස්වන්නා වූ “ස්ටාර්ක්‍රොම්” ආරක්ෂණ නූල සිරස්ව තැනින් තැන මතු වී පෙනෙන ලෙස යොදා තිබේ. රු. 100, රු. 50 සහ රු. 20 නෝට්ටුවල යොදා ඇති නූල සම්පූර්ණයෙන් ම නෝට්ටුව තුළට ඇතුළු කර ඇති අතර, එය අඛණ්ඩ රේඛාවක් ලෙස දිස්වේ.
වැර ගැන්වූ කොන් එක් එක් නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් පවතින අතර නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් කොටස් සමග එක්නෙකට සමපාත වී සම්පූර්ණ ඉලක්කම් සේ දිස්වන අතර එය නෝට්ටුවල “විනිවිද පෙනෙන සලකුණ” ලෙස හඳුන්වයි.
නෝට්ටුවේ සමනල රූපයට පහළ කොටස් දෙස සමීපව බැලුවිට, ඉතා කුඩා ලෙස මුද්‍රිත “CBSL” යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකි අතර එය නිරීක්ෂණ කිරිමෙන් ද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගත හැක. නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම අනුව වැඩිවෙමින් යන ආකාරයට මුද්‍රණය කර ඇති අතර ඒවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනා ගැනීමට උපකාරි වේ.
නෝට්ටුව ඇඟිලි තුඩු මගින් ස්පර්ශ කිරීමේදී “උස්ව මුද්‍රිත ප්‍රදේශ” හඳුනාගත හැකි අතර ඒ හරහා ද ව්‍යාජ මුදල් නෝට්ටු වෙන කර හඳුනාගත හැකි ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වැළැක්වීමේ අරමුණින් “පරීක්ෂා කරන්න, වළක්වාගන්න, දැනුම් දෙන්න” යනුවෙන් මෙම පියවර තුන ඔස්සේ මහජනතාව දැනුවත් කරයි. ඒ අනුව මුදල් ගනුදෙනුවකදී ව්‍යාජ බවට සැක සහිත නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් එය සැබෑ මුදල් නෝට්ටුවක් යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමග සංසන්දය කර ආරක්ෂණ සලකුණු හොඳින් විමසා බලා ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දෙයි. එමෙන් ම ව්‍යාජ මුදල් රැගෙන ආ තැනැත්තාගේ බාහිර පෙනුම, වාහනය පිළිබඳ තොරතුරු, එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයකදී ද යන්න වැනි කරුණු පිළිබඳ විස්තර සටහන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හෝ ඒවා බෙදාහැරීම පිළිබඳව වැනි විස්තර දන්නේ නම් දුරකතන අංක 0112-422176 හෝ 0112-326670 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට හෝ ළඟ ම ඇති පොලිස් ස්ථානයට දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වයි.
උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙනි
