
ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජකයන්ට නීතියානුකූලව කංසා වගා කිරීමට මෙරට රජය ඉඩ ලබා දී ඇති අතර එළෙස වගා කරන කංසා අපනයනය සඳහා පමණක්ම බවත් මෙරට භාවිතය සඳහා භාවිතා නොකිරීමටත් බවට වාර්තා වේ. ඒ අනුව කංසා ශාකයේ ඕනෑම කොටසක් (බීජ, කොළ, මුල්) බාහිර පරිසරයට මුදාහැරීමෙන් තොරව විනාශ කිරීමට නීති සහ රෙගුලාසි පනවන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) පවසයි.
මෙරට තුළ ප්‍රථම වතාවට මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක ඉඩමක කංසා වගාව ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාවේ පවතින නීති සහ රෙගුලාසිවලට අනුකූලව මෙම වගාවන් දැඩි ආරක්ෂක පියවර යටතේ සිදු කළ යුතු බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් කංසාවගා කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබන අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද එයට සහාය දක්වන බවට වාර්තා වේ.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කංසා භාවිතයෙන් ඖෂධ නිෂ්පාදනය සහ පර්යේෂණ සඳහා නිෂ්පාදන අපනයනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කරන ලද අයැදුම්පත් 37න්, සුදුසුකම් සපුරා ඇති විදේශීය ආයෝජකයන් 7 දෙනකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මාස 6 ක මූලික කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඇත. මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආකාරය අනුව වගා කාලය අනාගතයේ දී දීර්ඝ කිරීමට නියමිතය.
එක් ආයෝජකයකු අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කළ යුතු අතර, අමෙරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතුව ඇත.
