ශ්‍රී ලංකාවට නව සාම හා සහජීවන ප්‍රතිපත්තියක්: 2025-2029 ජාතික ක්‍රියාමාර්ග සැලැස්මට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ සාමය, ජාතික සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මඟින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල අනුමැතිය ලබා දී ඇත.

මෙම ක්‍රියාමාර්ග 2024 අංක 1 දරන “ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත” යටතේ ඇති නීතිමය විධිවිධාන මත පදනම්ව ක්‍රියාත්මක වන අතර, 2025 සිට 2029 දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.

නව ජාතික ප්‍රතිපත්තිය මඟින් ආයතනික යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, මහජන විශ්වාසය නැවත ස්ථාපිත කිරීම, අන්තර්වාර්ගීය හා අන්තර් ආගමික සංවාද වර්ධනය කිරීම, තරුණයින් හා කාන්තා නියෝජිතයන් සාමය ගොඩනඟා ගැනීමේ සෙවණැලි වශයෙන් යොදවීම යන අරමුණු ඉටු කිරීමට නියමිතය.

මෙම ක්‍රියාමාර්ගයන් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බහු අංශ සහභාගීත්වයක් සහිත අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකායක් පිහිටුවන අතර, එයට අදාළ අමාත්‍යාංශ සහ රේඛීය ආයතනවල නියෝජිතයන් එක්වනු ඇත. මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික, මූල්‍යමය සහ පරිපාලනික සහයෝගය ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් ලබාදෙනු ලබන බවද තහවුරු කෙරිණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, රටේ දිගුකාලීන සාමය හා ජාතික ඒකාබද්ධතාවය ඇතිකර ගැනීමට මූලික පදනමක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Social Sharing
අවකාශය නවතම