“නවගමුව පොලීසියට ආපු එකෙක් පණ පිටින් යවන්නේ නැහැ කියලා තර්ජනය කළා” –  මිය ගිය ඩිලාන්ගේ මව කියයි.

නවගමුව පොලිසියේ සිර මැදිරිය තුල සිය දිවි හානි කර ගත් තරුණයෙකුගේ මළ සිරුරක් හමු වුයේ පහුගිය 31 දාය. පොලිසිය පැවසුයේ මොහු ඇඳ සිටි ඩෙනිම් කලිසමෙන් නූලක් ඉරාගෙන එය ආධාරයෙන් ගෙල වැල ලාගෙන ඇති බවය. නමුත් මොහුගේ මරණය සැක සහිත බව ඔහුගේ මව ප්‍රකාශ කර සිටියි.

මෙලෙස මිය ගොස් තිබුණේ හංවැල්ල, ආටිගල, පන්සල පාරේ, අංක 382/2 ලිපිනයේ පදිංචිව සිටි ඩිලාන් මධුසංඛ සේනාධිර යන විසි පස් හැවිරිදි තරුණයාය.  මොහුව නවගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 28 දාය. ඒ ඩිලාන් මධුසංඛගේ පෙම්වතියගේ නිවසේදීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අයිතිය වෙත අදහස් දැක් වු මිය ගිය ඩිලාන්ගේ මව වන චම්පිකා ප්‍රියංගනී ලොකු ලියනගේ මහත්මිය මෙසේ පවසා සිටියාය.

“ඔක්තෝබර් මස 28 වන දින උදෑසන 10ට විතර  ඩිලාන් අපේ පැත්තේම යාලු වෙලා ඉන්න ගැහැණු ළමයාගේ ගෙදරට ගියා.  පසුව එදින දහවල් 2.00ට විතර මට කෝල් එකක් ආවා. ඒකෙන් දැනගන්නට ලැබුනේ ඩිලාන්  නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන නවගමුව පොලිස් ස්ථානය වෙත අරන් ගියා කියලා.  එම අවස්ථාවේදීම මම ඔහු බැලීමට නවගමුව පොලිස් ස්ථානය වෙත ගියා. මම පොලිස් ස්ථානයට ගොස් පොලිස් නිලධාරීන්ගෙන් මාගේ පුතාව අත් අඩංගුවට ගත්තේ කුමන චෝදනාවකටදැයි ඇසුවා.

ඔවුන් කියා සිටියේ ඔහුව වරෙන්තුවක් මත අත් අඩංගුවට ගත්තේ, හෙට දිනයේ උසාවි දානවා කියලා.  මම ආපසු නිවස වෙත පැමිණ පසු දින එනම් ඔක්තෝබර් මස 29 වන දින පෙරවරු 8.00ත් 10.00ත් අතර හෝ ඊට ආසන්න කාලසීමාවකදී මම නවගමුව පොලීසිය වෙත ගියා. එහි යන විට මාගේ පුතා වන ඩිලාන් බරපතල ලෙස අසාධ්‍ය තත්වයෙන් සිටිනවා මම දැක්කා. මම ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පෙර දින රාත්‍රියේදී පොලිස් නිලධාරින් විසින් ඔහුව බාල්කයක එල්ලා වැලි පුරවන ලද හෝස් බට වලින් සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යොදා ගන්නා ක්‍රිකට් පිත්තකින් ඔහුට දරුණු ලෙස පහර දුන්නා කියලා.

එසේ කෲර හා අමානුෂික ලෙස පහර දෙමින් නවගමුව පොලිස් ස්ථානයේ සහ හංවැල්ල පොලිස් ස්ථානයේ පවතින සැකකරුවන් සොයා ගෙන නොමැති පැමිණිලි තමාට භාර ගන්නා ලෙස පොලිස් නිලධාරින් ඔහුට තර්ජනය කරමින් කියා සිටි බවද ඔහු මා වෙත කීවා. පසුව මම මෙම අසාධාරණය පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමට උත්සාහ කරන අවස්ථාවේදී හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකු නවගමුව පොලිස් ස්ථානය වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකි වූනා.  එසේ පැමිණ සිටි හංවැල්ල පොලිස් ස්ථානයේ සුජිත් නැමැති පොලිස් නිලධාරියා මා වෙත ප්‍රකාශ කර සිටියේ ” මූව බෝම්බ ආයුධ තියාගත්තා කියල දාලා වෙඩි තියල මරනවා” බවයි. එවිටම ඒ අසල සිටි නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ ” නවගමුව පොලීසියට ආපු එකෙක් ආයේ පන පිටින් යන්නේ නැහැ. මීට වඩා ලොකු අයත් අපිට හම්බුනා ඒ අයගෙත් කට වැහුවා” කියලා. පසුව මම හඬමින් එම නිලධාරින් කිව්වා  ” නීතියෙන් දඩුවම් ලබා දුන්නට කමක් නැහැ නමුත් මගේ පුතාව මරන්න එපා” කියලා. පසුව ඊට පසු දින එනම් ඔක්තෝබර් මස 30 වන දින දහවල් සහ සවස් වරුවේ අවස්ථා දෙකකදී නවගමුව පොලිස් ස්ථානයට ගොස් මම පුතාව බැලුවා. ඔහුව  මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකරමින් දිගින් දිගටම පොලිස් සිර මැදිරියේ රඳවා ගෙන සිටියා. එදින පස්වරු 10.00 වන තෙක්ම පොලිස් ස්ථානයේ සිටිය නමුත් පුතාව  මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකළ නිසා  මම ආපසු නිවසට ආවා.

ඔක්තෝබර් මස 31 වන දින   පෙරවරු 6.00ත් 7.00ත් අතර කාල සීමාවේදී මාගේ වැඩිමහළු පුත්‍රයා වන දිනේෂ් මදුශංඛ සේනාධීර යන අයගේ ජංගම දුරකථනය වෙත නවගමුව පොලිසියෙන් කථා කළා.  එහිදී  පොලිස් නිලධාරියෙකු ” උඹේ මල්ලිට පොඩි ප්‍රශ්නයක් වෙලා ඉක්මනට වරෙං” යැයි කියලා තියෙනවා. අනතුරුව  මාගේ වැඩිමහළු සහෝදරයා වන උපුල් සමන්ත යන අයගෙන් ලැබුනු පණිවිඩයකින් මට  දැනගන්නට ලැබුනේ මගේ පුතා ඩිලාන් මදුශංඛ සේනාධීර යන අය නවගමුව පොලිස් ස්ථානයේ පොලිස් සිර මැදිරිය තුළ සිටියදී මිය ගොස් කියලා.”  (නිමාව)

මෙහිදී මිය ගිය ඩිලාන්ගේ සහෝදරයා වන දිනේෂ් පැවසුයේ ඩිලාන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි රෝස පැහැති කොට කලිසමක් ඇඳ සිටි නමුත් ගෙල වැල ලා ගත් අවස්ථාවේ ඔහුට ඩෙනිමක් අන්දවා තිබු බවය. රෝස පාට කලිසම ඒ අසල බිම තිබු බවද ඔහු පවසයි.

කෙසේ නමුදු පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මොහුට එරෙහිව වරෙන්තු 04 ක් හා යතුරු පැදියකින් ගොස් රන් මාල හෝ චේන් මංකොල්ලකෑම සම්බන්ධයෙන් කඩුවෙල, මීගොඩ, හංවැල්ල පොලිසි වල පැමිණිලි ඇති බවත් සැකකරු පුද්ගලයෙකුට මන්නා පිහියකින් කෙටීම සම්බන්ධයෙන් චෝදනා ලැබු අයෙකු බවත්ය. එමෙන්ම මොහුව හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගත් බවද කියා සිටියේය.

මොහු මිය යන අවස්ථාවේ එම සිර මැදිරිය තුල තවත් සැකකරුවන් සිව් දෙනෙකු සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය (31) දින කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා  විසින්ද පොලිස් සිර මැදිරිය පරික්ෂාවට ලක් කර  මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂනය පවත්වා මෙය ගෙල වැල ලාගනිමින් සිදු කරගත් සිය දිවි හානි කර ගැනිමක් බවට ප්‍රකාශ කර ඇත.

මොහුගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධාන්වයෙන් කණ්ඩායමක් යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මන්ද සැකකරුවෙකු පොලිස් සිර මැදිරියක සිටියදී ඔහු සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පොලිසියේ කාර්යභාර නිලධාරියාට මෙන්ම එම අවස්ථාවේ සේවයේ යෙදී සිටින උප සේවා නිලධාරියාට බවය.  නමුත් ඔවුන් නිරික්ෂණය නොකිරීමෙන් මෙම මරණය සිදුව ඇති හෙයින් ඔවුන්ට එරෙහිව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

අයිරංගි එදිරිසිංහ / ශානිකා

Social Sharing
නවතම