රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවතට!

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු ගණනාවක් මතුවීම සම්බන්ධයෙන් ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ හෝ රසායනාගාර සේවාවට අදාලව පැන නැඟෙන අවශ්‍යතා හා ගැටළු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතල අර්බුධයකට ලක් වෙමින් තිබෙන බවත් ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින් පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට යවා තිබුණි. මෙය එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව යවා ඇත.

එම ලිපියට අනුව රජයේ වෛද්‍ය රසායනාගාර තුල PCR ධාරිතාව වැඩි කිරීම සඳහා  තම සංගම විසින් ඉල්ලා තිබූ නවතම තාක්ෂණික උපක්‍රම සහිත යන්ත්‍ර ලබා දීමට හෝ ඒ පිළිබඳ අදාල අංශ නිවැරදිව දැනුවත් කිරීමට කටයුතු නොකිරීම නිසා දැනට සෑම රසායනාගාරයකම PCR වාර්තාවක් ලබා ගැනීම සඳහා පැය 8 ක පමණ අවම කාලයක් ගතවන අතර අදාල තාක්ෂණය ලබා දුන්නේ නම් එය පැයක උපරිම කාලයකදී සිදු කල හැකි වීම,  PCR රසායනාගාර සඳහා අවශ්‍ය සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වා නොගැනීම සහ ඊට අදාල අඩු පාඩු පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ ඉදිරිපත් නොවීම,  නව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් 113 දෙනෙකු පත් කිරීම ප්‍රමාද කරමින් එහි අවශ්‍යතාවයන් පිළිබඳව සාමුහිකව සාකච්ඡා නොකිරීම සහ ඒ හේතුවෙන් PCR රසායනාගාර සඳහා අවශ්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස පත් කිරීමට නොහැකි වීම,  දිවයින පුරා ඇති PCR රසායනාගාර තුල සේවයේ යෙදී සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් සඳහා අතිකාල ගෙවීමේ ගැටළු සහ සීමාවන් පැනවීම හේතුවෙන් එම රසායනාගාර සේවා අවශ්‍යතාවය පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වීම මෙන්ම කැපවීමෙන් සේවය ආවරණය කරන නිළධාරීන්ගේ සාමාන්‍ය දීමනා පවා කප්පාදුවට ලක් වීම වැනි කරුණු හේතුවෙන් PCR ධාරිතාවේ උපරිමයකට යාමට නොහැකිවීම. අවම වශයෙන් මෙම ගැටළු සාකච්ඡා කිරීමට යාන්ත්‍රණයක් රසායනාගාර සේවාව තුල නොතිබීම,  දිනකට PCR පරීක්ෂණ 4000ක් පමණ සිදුකල හැකි ක්ෂයරෝග හා ළය රෝග මර්ධන ව්‍යාපාරය යටතේ සෞඛ්‍ය ආයතන 36ක ස්ථාපිත කර ඇති PCR යන්ත්‍ර සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රීයක ලබා නොදීම, ප්‍රතික්‍රීයක සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය යෝජනා කිසිවක් සැලකිල්ලට නොගැනීම,  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිෂ්පාදනය කරමින් තිබූ වෛරස ප්‍රවාහන මාධ්‍ය (VTM) කට්ටල නිෂ්පාදනය ක්‍රමානුකූලව අකර්මණ්‍ය කරමින් සම්පූර්ණයෙන් නතර කර දමා පෙර අවස්ථාවකදී ඇතිවූ ගැටළු කිහිපයක් හේතුවෙන් භාවිතයට ගැනීමට නිර්දේශ කර නොතිබූනු සමාගමකින් වෛරස ප්‍රවාහන මාධ්‍ය (VTM) කට්ටල ඇණවුම් කිරීම ආරම්භ කිරීම, බණ්ඩාරනායක ජාතික ගුවන් තොටුපලේ නිස්සාරක (Extraction) යන්ත්‍ර සඳහා ගෙන්වා තිබූ ප්‍රතික්‍රීයක කට්ටල ගුවන් තොටුපල ගබඩා වලින් නිදහස් කර ගැනීම පමා කිරීම, නිදහස් කරගත් එම ප්‍රතික්‍රීයක වල ශීත දාම (Cold chain) පවත්වා නොගැනීම හේතුවෙන් භාවිතයට නොගන්නා ලෙස උපදෙස් දීම සහ මෙතෙක් ඒවා භාවිතයට ගත හැකිද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක් නොකිරීම වැනි තත්වයන් හේතුවෙන් එම ප්‍රතික්‍රීයක නාස්තියට පත් වීමට ඉඩ හැරීම. මේ හේතුවෙන් විනාඩි 18කදී කල හැකි කෝවිඩ් වෛරස නිස්සාරණ ක්‍රියාවලිය සඳහා පැය 2 සිට පැය 4 ක පමණ කාලයක් ගතවීම එම රසායනාගාරයේ ධාරිතාව අඩු වීමට ප්‍රබල හේතුවක් වීම,  මුල්ලේරියාව PCR රසායනාගරයට ඉතා විශාල මුදලක් වියදම් කර චීන සමාගමක් හරහා ගෙන්වාගත් PCR පරීක්ෂණ වලට අදාල යන්ත්‍ර වරින් වර බිඳවැටීමට ලක්වීම, අකර්මණ්‍ය වීම සහ ඒවා කඩිනමින් යථා තත්වයට පත් නොකිරීම හේතුවෙන් සාපේක්ෂව එම රසායනාගාරය ඉතා අවම PCR ධාරිතාවක් ආවරණය කරන තත්ත්වයට පත්වීම. එසේම මෙම රසායනාගාරයේ සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂණ ඇඳුම් මාරුකර ගැනීමේ ස්ථානයක් හෝ රාජකාරී අතරවාරයේ රසායනාගාර කටයුතු වලට නිරාවරණය නොවී සිටීමේ ස්ථානයක් රසායනාගාරය තුල හෝ ඊට යාබදව නොමැති වීම මත ඒ සඳහා විශාල දුරක් ඇවිද යාමට සිදුවීම හේතුවෙන් අනවශ්‍ය ශ්‍රමයක් සහ අනාරක්ෂාවකට ලක්ව තිබිම,

සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂාකර බැලීම පවා තහනම් කර තිබූ ක්ෂණික පරීක්ෂණ ගෙන්වන බවට මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීම සහ ඊට අදාල රසායනාගාර උපක්‍රම පිළිබඳව අදාල විෂය ප්‍රවීණයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ සාකච්ඡා නොකිරීම,  මූලික රෝහල් මට්ටම දක්වා දැනට ස්ථාපිත කර ඇති ජීව රසායන විද්‍යා උපකරණ පද්ධතිය භාවිතා කරමින් රසායනාගාර තුල ප්‍රතිදේහ හා ප්‍රතිදේහජනක පරීක්ෂණ ඉතා පහසුවෙන්, අඩු පිරිවැයකින්, කෙටි කාලයකින්, ඉතා විශාල ප්‍රමාණ වලින්, අවම ආරක්ෂණ තත්ත්ව යටතේ දිවයින පුරා සිදු කල හැකිව තිබියදී ඊට අදාල ප්‍රතික්‍රීයක ලබා නොදෙමින් ඒ පිළිබඳව සාකච්ඡා නොකරමින් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පිළිබඳව ලෝකයේ ඇති අසාර්ථකම ක්‍රමවේදය වන ක්ෂණික පරීක්ෂණ සඳහා අනියම් ප්‍රචාරාත්මක වාසියක් ලබා දෙමින් සිටීම, PCR පරීක්ෂණ සිදු කරමින් සිටින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් නොසලකා හරිමින් හා පරීක්ෂණය සිදු කරන වෘත්තිකයන් පිළිබඳව මහජනතාවට වැරදි අවබෝධයක් ලැබෙන පරිදි මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) යටතේ රසායනාගාර සේවාව පිළිබඳව තීරණ ගැනීමේදී ඊට අදාල වෘත්තීයවේදී ආයතන වන රක්තවේදී වෘත්තීයවේදී අයතනය (College of Hematologist), ජීව රසායනවේදී වෘත්තීයවේදී ආයතනය (College of Chemical Pathologist), ක්ෂුද්‍රජීවවේදී වෘත්තීයවේදී ආයතනය (College of Microbiologist), පටකවේදී වෘත්තීයවේදී අයතනය (College of Histopathologist) වෛද්‍ය රසායනාගාරවේදී වෘත්තීයවේදී ආයතනය (College of Medical Laboratory Science) සමඟ සාකච්ඡා කිරීම දීර්ඝකාලයක් තිස්සේ පැවති සම්ප්‍රදාය වන නමුත් වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එක් වතාවක් හෝ එසේ සිදු නොකිරීම. එසේම සමහර නිළ සාකච්ඡාවලදී වෘත්තීයවේදී ආයතනවලට දෝෂාරෝපණය කරමින් හා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගනු ලබන එම ආයතන වල ලියාපදිංචිය වැනි කරුණු තැන තැන ප්‍රශ්ණ කරමින් අනවශ්‍ය ගැටළුකාරී තත්ත්වයන් ඇති කිරීම යන චෝදනා 16 වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණි.

උක්ත ගැටළු හේතුවෙන් රසායනාගාර සේවාව මෙම අර්බුධකාරී අවස්ථාවේ ජව සම්පන්න ලෙස ඉදිරියට ගෙන යාමට බරපතල බාධාවක් වී ඇති බවත් ඔහුව ඒම තනතුරින් ඉවත් නොකරන්නේ නම්  මෙම වසංගත තත්ත්වය යටතේ හෝ ඉදිරියේදී රටේ සහ මහජනතාවගේ අවශ්‍යතාවය රසායනාගාර සේවාව හරහා ඉටු නොවීම පිළිබඳ වගකීම තම සංගමය විසින් භාර ගනු නොලබන බවත් අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් ඇති වීමට එය හේතුවක් විය හැකි බවත් පෙන්වා දි තිබුණි.

ඒ අනුව ඔහුව ඊයේ දින එම තනතුරින් ඉවත් කර රසායනාගාර සේවාවේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස වෛද්‍ය එස්.කේ. රත්නායක මහතා පත් කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම