ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් යුක්තිය ඉටු කිරීමට බොහෝ කාලයක් ගත කරන බව කවුරුත් දන්නා කරුණකි.. මෙම ගැටලුව බොහෝ විට “නඩු ප්‍රමාදය” ලෙස හැඳින්වේ. විශේෂයෙන් දුප්පත් සහ ග්‍රාමීය ප්‍රජාවට අයත් ජනයා සම්බන්ධ නඩු අවසන් වීමට වසර හෝ දශක ගණනාවක් ගත වන බැවින් ඔවුහු දැඩි පීඩනයකට ලක්වෙති. නඩු ප්‍රමාදයන් රටේ ආර්ථිකයට ද හානි කරන අතර ආයෝජකයින් නීති පද්ධතිය විශ්වාස නොකිරීම නිසා ආර්ථික වර්ධනයට ද එය බලපායි.
අධ්‍යයන වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්තුවක් බලාත්මක කිරීමට සාමාන්‍යයෙන් දින 1,300 කට වඩා ගත වේ. මහාධිකරණයේ අපරාධ නඩු විභාගයක් අවසන් වීමට සාමාන්‍යයෙන් වසර 9.5 ක් පමණ ගත විය හැකිය. ප්‍රසිද්ධ කුරුකුලසූරිය එදිරිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නඩුවේ මෙන් මූලික මානව හිමිකම් පිළිබඳ නඩු පවා වසර 12කට වඩා කල්ගත වී ඇත.
මෙම ප්‍රමාදයන් හේතුවෙන් යුක්ති ක්‍රියාවලිය මන්දගාමී වනවා පමණක් නොව, සාක්ෂි විනාශ කිරීමට හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමට ද කාලය ලබා දෙයි.
මෙය නිවැරදි කිරීම සඳහා, අධිකරණ අමාත්‍යාංශය අධිකරණ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. එය රට පුරා අධිකරණවල කඩිනමින් ක්‍රියාත්මක කළහොත් නඩු ප්‍රමාදය අවම කරගත හැකි වනු ඇත.
විද්‍යුත් ගොනු කිරීම මගින් නීතිමය ලේඛන මාර්ගගතව යොමු කළ හැකිය.
අධිකරණ කළමනාකරණ පද්ධතිය විනිසුරුවන්ට සහ කාර්ය මණ්ඩලයට නඩු වේගයෙන් කළමනාකරණය කිරීමට උපකාරී වේ.
ඩිජිටල් පටිගත කිරීම සහ පිටපත් කිරීම මගින් අධිකරණ ක්‍රියාවලිවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකිය.
සරල නඩු මාර්ගගතව විභාග කිරීමට හැකිය. එමගින්, කාලය සහ වියදම් ඉතිරි කර ගැනීමට හැකිය.
ඩිජිටල්කරණයේදී ආරක්ෂාව තහවුරු කිරීම ද අතශ්‍යවශ්‍ය වේ.
කෝවිඩ් අධිවසංගත සමයේදී දුරස්ථ නඩු විභාග සඳහා ඉඩ ලබා දුන් අතර, එම පියවර අධිකරණවල තදබදය අඩු කිරීමට උපකාරී විය.
සිංගප්පූරුව, එක්සත් රාජධානිය, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි බොහෝ රටවල් දැනටමත් අධිකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ඩිජිටල් ප්‍රතිසංස්කරණ සිදු කර ඇත. එමගින් අධිකරණ වේගවත්, ප්‍රවේශ වීමට පහසු සහ වඩා සාධාරණ අන්දමින් යුක්තිය පසිඳලන ස්ථාන බවට පත්ව ඇත.
ඩිජිටල්කරණය පැත්තෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට යා යුතු බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති. නීතිපති කාර්යාලය සහ පොලිසිය ඇතුළුව නීති පද්ධතියේ සියලුම කොටස් එයට ඇතුළත් කළ යුතුය. රජය නීතිඥයින් සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, දත්ත ආරක්ෂා කිරීම සහ ජනතාව පද්ධතිය භාවිතා කරන ආකාරය අධ්‍යයනය කිරීම ද කළ යුතුය.
ශක්තිමත් නායකත්වයක් සහ මහජන සහයෝගයක් ඇතිව, අධිකරණ ස්වයංක්‍රීයකරණය යුක්ති ක්‍රියාවලියෙහි ප්‍රමාදයන් අවම කිරීමට සහ සැමට යුක්තිය ඉක්මනින් හා සාධාරණ අන්දමින් ලබා දීමට උපකාරී වේ.
– අමිතා ප්‍රියන්ති භාරය
