
ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින්ට රුපියල් පන්දහසක දීමනාවක් දීමේ වැඩසටහන අද (15) සිට ඇරඹෙන බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී සරෝජි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව එම 5000 මුදලින් රුපියල් 2,000ක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව “අර්ථ ” නමින් හඳුන්වා දෙන ගිණුමක ළමයාගේ නමට තැන්පත් කෙරෙන අතර එම දරුවන්ට අවුරුදු 18 සපිරුණු විට එම මුදල් නැවත ලබා ගත හැකි වන බවත් අනෙක් රුපියල් 3,000 ළමයාගේ භාරකාරත්වය දරන අයතනයට පැවරෙන බවත් ඇය පවසා සිටියි.
මෙරට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306ක ජීවත් වන ළමයින් 9191 දෙනකුට මෙම ප්‍රතිලාභය හිමිවන අතර මේ සඳහා අයවැයෙන් රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කර ඇති අතර සෑම මසකම 10 වැනිදාට අදාළ මුදල ගිණුමට තැන්පත් වන ආකාරයෙන් මේ වැඩපිළිවෙළ සකස් කර ඇති බවට වාර්තා වේ.
එහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
“සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලී අනාගත පරපුරක් අරමුණෙන් මෙය ක්‍රියාත්මක කරනවා. දරුවන් ස්වාධීන පුරවැසියන් වන විට ඔවුන්ට රැකවරණය දෙන වැඩපිළිවෙළක් රජය ලෙස අපි මෙලෙස ආරම්භ කර තිබෙනවා.නොයෙක් හේතු මත අත්හල හා අනාථභාවයට පත්වුණු දරුවන්ට රැකවරණය හා ආදරය ලැබිය යුතුයි. එසේම ඔවුන්ගේ අනාගතය ගොඩනැංවීම සිදු කළ යුතුයි. ආයතනයක භාරකාරත්වයට පත් වී සිටින, ළමා නිවාසවල, රැඳවුම් නිවාසවල, සහතික කළ පාසල්වල සිටින දරුවන් වෙනුවෙන් මෙම රුපියල් 5,000ක මුදල රජය ලෙස ලබාදීමට කටයුතු කරන්නේ යැයිද කීවාය.”
