“ඉන්දියාවේ කොරෝනා” මාළු හරහා එන බවට සැකයක්?

මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතවුවන් 3000 ඉක්මවා ගොස් සිටියි. මරණ 15 ක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවිකාවකගෙන් පටන් ගත් නව කොරෝනා වෛරසය දෙවැනි රැල්ලෙන් දැන් තවත් පොකුරු රාශියක් බිහි වෙමින් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මේ සියලු පොකුරු මිනුවන්ගොඩට සම්බන්ධ බවටය. එහෙත් දැන් දැන් පෑලියගොඩ පොකුර වෙනත් පොකුරක් බව නීරික්ෂණය වෙමින් ඇත. මිනුවන්ගොඩ හා සමානවම දැන් පෑලිගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට  පැමිණි පුද්ගලයින් සියලු දෙනා පාහේ කොරෝනා ආසාදිතයින් බවට අනාවරණය වෙමින් ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට කොරෝනා වෛරසය වැළඳි තිබියදිත් ඒ බව වටහා ගැනීමට අසීරු වුයේ එහි විධායක ශ්‍රේණියේ නිලධාරින්ටය. එහෙත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ  පුද්ගලයින් වැඩි වශයෙන් වේදනා නාශක ගන්නා බවට එහි සභාපතිවරයාට කියා තිබුණේ අසල්වැසි වෙළඳසැල් හිමියෙක් විසිනි. ඒ අනුව මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සභාපතිවරයා වහාම මේ පිලිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගත් හෙයින් කල්තියාම එහි කොරෝනා ආසාදිතයින් සිටින බවට හඳුනා ගැනීමට හැකි විය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයෙන් එම පටන් ගත් පොකුර මේ වන විට ලංකාව පුරා ධීවර වරායවල් වලටද ව්‍යාප්ත වෙමින් ඇත. එසේම පෑලියගොඩට මසුන් ගෙන යාමට පැමිණි පුද්ගලයින්ද මේ වන විට ආසාදිතයින් ලෙස වාර්තා වෙමින් තිබේ. මේ වන විට ප්‍රදේශ රැසක මත්ස්‍ය වෙළඳසැල් රාශියක් වසා දැමීමටද කටයුතු කර ඇත්තේ එවන් පසුබිමක් තුලය.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ මේ ධීවර ප්‍රජාව හා ඉන්දියාව අතර පවතින සම්බන්ධය සොයා බැලිය යුතු බවත්, මේ මාළු හරහා එන්නේ ඉන්දියාවේ කොරෝනාද යන්න බරපතල සැකයක් පවතින බවත්ය. මේ සම්බන්ධව අහඹු පරික්ෂණ ක්‍රියාවලියකින් හෝ වෙනත් පරික්ෂණ ක්‍රියාවලියකින් සොයා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙහිදී බොහෝ දෙනෙකුට පැන නැඟි ගැටලුවක් වුයේ මාලුවාගෙන් කොරෝනා වෛරසය බෝ වෙනවාද යන්නය. මේ නිසා මේ වන විට ඇතමුන් මාළුන් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියි. මේ සම්බන්ධයෙන්ද රවී කුමුදේශ් මහතා කරුණු පැහැදිලි කළේය.

මාලුවෙකු හෝ වෙනත් සතෙකු හරහා මේ රෝගය පැමිණිමේ ඉඩකඩ අඩු බව විද්‍යාත්මකව තහවුරු වී ඇති බවත් විශේෂයෙන්ම මෙම වෛරසය අංශක 36 ක වැනි උෂ්ණත්වයක පෙනහැල්ල ආශ්‍රිතව  ජිවත් වන අතර  මාලුවා යනු බොහෝ විට පෙනහැල්ලක් නොමැති අංශක 36 ජිවත් වන්නේ නැති සතෙක් බවය. ඒ නිසා මාලුවා හරහා මෙය ගුණනය වෙමින් හෝ දහනය වෙමින් පැතිරිය නොහැකි බවත්, නමුත් මෙම වෛරසය පැහැදිලිවම පෘෂ්ඨ හරහා ප්‍රවාහනය වන බව පෙන්වා දෙයි. එනම් මාලුවා, මාලුවා ගෙන එන්නා, මාලු දැල හෝ හරහා වෛරසය ප්‍රවාහනය විය හැකි බව කියා සිටියි. මෙම වෛරසය සෙල්සියස් අංශක 56 වැනි පිසු ආහාර වල නැති බව විද්‍යාත්මකව තහවුරු වී ඇතැයිද ඒ නිසා හොඳින් පිසු මාලු ආහාරයට ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

රවී කුමුදේශ් මහතා මේ තොරතුරු අනාවරණය කර සිටියේ අද (25) උදෑසන පුද්ගලික නාලිකාවක පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

-ශානිකා-

 

Social Sharing
නවතම