පූගොඩ තරුණයාගේ ඝාතනයට OIC අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කොට පූගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් ඊයේ (20) දින පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මණ්ඩාවල, කන්ද පාර පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර නම් විසි එක් හැවිරිදි තරුණයෙකු පහුගිය 11 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන සිටියදී අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව 12 දා රාත්‍රියේ මිය ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් ගයාන් පුෂ්පකුමාරගේ ඥාතීන් චෝදනා කර සිටියේ පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා පොලිස් සැරයන්වරයෙකුටය. ඒ් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ගයාන්ට පහර දී අසනීපව සිටි අවස්ථාවේ පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාද පයින් ඔහුගේ උදරයට ගැසු බව පවසමිනි.

මේ අතර ගයාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වුයේ මොට ආයුධයකින් සිදු කළ පහර දීමක් නිසා ගයාන් මිය ගිය බවය.

මෙම ගයාන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරිමට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් හා නියෝග මත පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් මාරපන මහතා  පත් කර තිබුණි. තිලක් මාරපන මහතා විසින් මේ සඳහා විමර්ශනය කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත අනියුක්ත කර සිටියේය. ඔහුගේ විමර්ශන වලට අදාලව හෙලි වුයේ රාජකාරී පැහැර හැරීම, අසනීප වු සැකකරු පැය 13 ක් පමණ සිර මැදිරියේ රඳවාගෙන සිටිමින් ප්‍රතිකාර වලට යොමු කිරීමට ප්‍රමාද කිරීම ආදී ය සිදුව ඇති බවය. ඒ අනුව පහුගිය 18 දා පුගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක W. M.S වන්නිආරච්චි හා පොලිස් සැරයන් මොහොමඩ් සම්සුදීන් යන අයගේ වැඩ තහනම් කෙරුණි.

ඒ වන විට පූගොඩ ‌හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර සිටියේ මන්නාරම පොලිස් කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරී සඳහාය. එදිනම සවස පොලිස් සැරයන්වරයා හා පහර දීමට අදාලව පිටස්තර පුද්ගලයින් හත් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගත්හ.

මේ සම්බන්ධ නඩුව ඊයේ (20) පූගොඩ අධිකරණයේදී පැවති අතර එදින වැඩ තහනමට ලක් කර සිටි පොලිස් ස්ථානාධිපතිවරයාද කැඳවා තිබුණි. ඔහුගේ සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත ඔහුව අත්අඩංගුවට ගෙන ලබන 27  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුගොඩ මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවේ සිටියදී ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් පොලිසිය ක්‍රියා කිරීම, පොලිසියේ නිති රීති වලට පරිබාහිරව කටයුතු කළහොත් අනිවාර්යෙන්ම එම නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවය.

-ශානිකා-

Social Sharing
නවතම