භික්ෂූන්ගේ 20 ට එරෙහි විරෝධයේ යටි පෙළ කියවමු.

ජාත්‍යන්තර බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාව

20 වන සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ දිනවල පැවැත්වේ. එකී සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඊයේ දින (20) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සම් 39ක් ඉදිරිපත් විය. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය දින කිහිපයක් පැවැතුණි. 20 වන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කල දින සිට මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය සිදු කරන කාලය දක්වාම මෙම 20 වන සංශෝධනයට බරපතළ ලෙස විරෝධය දැක්වූයේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් හා මානව හිමිකම් පදනම් මත කටයුතු කරන සිවිල් කණ්ඩායම්ය. එය සාමාන්‍ය තත්වයකි. 18 වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා සමයේද එයට විරුද්ධ වූයේ ඉහත කී කණ්ඩායම්ය. මහනායක හිමිවරුන්ගෙන් නිවේදන නිකුත් වුවද කිසි ලෙසකින්වත් ජාතිකවාදී යැයි කියා ගන්නා ස්ථාවරයන් දරණ භික්ෂු කණ්ඩායම් විධායක ජනාධිපතිගෙ බලය වර්ධනය කරන ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධ වීමක් අප අසා නැත.

මේ වන විට 20 වන සංශෝධනයට කිසි ලෙසකින් අප නොසිතූ අසීමාන්තික විරෝධයක් ඉහත කී ජාතිකවාදී යැයි කියා ගන්නා භික්ෂු කණ්ඩායම් වලින් එල්ල වෙමින් තිබේ. විශේෂයන් මෙහි පෙරමුණට එක් වරම ඇල්ලෙ ගුණවංශ හිමියන් පැමිණ තිබේ. ඇල්ලෙ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි ඇතුළු ජාතික චින්තනය කර උඩ තියා ගත් වත්මන් ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීමට පෙරමුණ ගත් හිමි වරුන් අමුතු කරණමක් ගසා ඇත. ඒ 20ට එරෙහිව අසීමාන්තිකව විරුද්ධ පක්ෂයටත් වඩා විරුද්ධ වීමයි. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ විරෝධයද සුළුවෙන් තැකිය නොහැක. නමුත් ඒ සියල්ල යටපත් කරමින් භික්ෂු විරෝධය කරළියට එන බව පෙනේ.

මේ සියල්ල ආරම්භ වන්නේ මෑතකදී මිස 20 කෙටුම්පත ගෙනා මුල් අවස්ථාවේදී හෝ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වන අවස්ථාවේදී නොවේ. මෑතකදීය.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ආණ්ඩුවේ අලුත් නැම්ම

මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කල අවධීයේම ලංකා දේශපාලනයටත් ලංකාවේ ජාත්‍යන්තර දේශපාලනයටත් වැදගත් වන කරුණු දෙකක් සිදු වුණි. ඒ කිසිවකු හෝ නොසිතූ ලෙස වන අතර එක්සත් ජනපද විරෝධී ආණ්ඩුවක් ලෙස බෞතීස්ම කෙරී ඇති ආණ්ඩුවෙන්, ආණ්ඩුවේම සගයන් එක්සත් ජනපද ඒජන්තයන් ලෙස හංවඩඩු ගැසූ පුද්ගලයන් දෙදෙනෙක් රාජතාන්ත්‍රික වශයෙන් අතිශයින් වැදගත් තනතුරු දෙකකට පත් කළේය. මිලින්ද මොරගොඩ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙසත්, අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධූරයටත් පත් කිරීම එම අවස්ථාවන්ය. මේ පත් කිරීම් වලට පෙර සිටම වත්මන් ආණ්ඩුව වර්ෂ 2015ට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව මෙන් නොව එක්සත් ජනපදය හා ඉන්දියාව සමග යම් හිතවත්කමක් ගොඩ නගා ගැනීමට උත්සහ කරන අයුරු පෙන්නුම් කළේය. මෙම පත් කිරීම් දෙක මගින් එය හොඳින් පෙන්නුම් කෙරුණි.

එමෙන්ම ඉහත කී විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පෙම්පියෝ ශ්‍රී ලංකාවට නුදුරේදීම පැමිණෙන බවයි.

20 හා එක්සත් ජනපදය

ලංකාවේ ඇතැම් ජාතිකවාදීන්ගේ අදහස නම් 20 එක්සත් ජනපද වුවමනාවක් බවයි. එක්සත් ජනපදයට අවශ්‍ය කරුණු කාරණා ඉටු කර ගැනීමට 20න් නිර්මාණය වූ සුපිරි බලයක් සහිත ජනාධීපතිවරයකු අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.

චීන නියෝජිතයන් ලංකාවට

මේ අතරවාරයේ ඉතාම හදිස්සියෙන් එක්සත් ජනපද-චීන සම්බන්ධතා පිළිබඳ චීන රජයේ ප්‍රධානි යැං ජී චී ලංකාවට සැපත් වෙයි. ඉහත කී හැරවුම් චීනයට නොදැනෙනවා නොවේ. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ආණ්ඩුවට චීනයෙන් විශාල සංඥාවක් ලබා දී ඇතිවාට සැක නැත. ආර්ථික වශයෙන් චීනයට උගස් වී ඇඹරී සිටින ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉතාම ලෙහෙසි‍යෙන් චීනය අත්හැරිය නොහැකි බවත් අත් හැරිය හොත් සිදුවන ප්‍රතිවිපාක පිළිබඳවත් මේ වන විටත් චීනයෙන් සංඥා ලැබෙන්නට ඇති.

භික්ෂූන් හා චීන සම්බන්ධකම් ගැන අතීත මතක

ශ්‍රී ලංකාවේ බලපෑම් සහගත භික්ෂූන් තානාපති කාර්යාල සමග සම්බන්ධව වැඩ කටයුතු සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් හා තානාපති කාර්යාල අතර ඉතා කිට්ටු සම්බන්ධයක් ඇත. මීට වසර දෙකකට පමණ පෙර වර්ෂ 2018 ජූනි 25 දින නිව්යෝක් ටයිම්ස් සගරාවේ මීරා අබී හබීබ් විසින් චීනය ලංකාවට මැදිහත් වීම පිළිබඳ “How China Got Sri Lanka to Cough Up a Port” යන ලිපියේදී ඔවුන් එළිදරව් කළේ වර්ෂ 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් චීනය අති විශාල මුදලක් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවූ බවත් ජනාධීපතිවරණයට දින 10කට පමණ පෙර එලෙස මුදල් ලබා දුන් අය අතර ලංකාවේ සුප්‍රසිද්ධ භික්ෂුවක්ද වන බවත් එකී භික්ෂුවට ඩොලර් 38000ක් ලබා දී ඇති බවත්ය. (https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html)

ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂූන් හා තානාපති කාර්යාල පිළිබඳ ගනුදෙනු පිළීබඳ මේ එළිදරව් වූ එක් අවස්ථාවකි. එකී භික්ෂූන් වහන්සේ ඇල්ලේ ගුණවංශ හිමි බවට එවකට සමාජ මාධ්‍ය ඔස්සෙ පැතුරුණද එමෙන්ම ඇතැම් දේශපාලන වේදිකා වල කියවුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකෙරුණු බැවින් අපට තහවුරු කළ නොහැක. නමුත් නිව් යෝක් ටයිම්ස් වාර්තාවට අනුව ඒ මුදල් ලබා දුන්නේ රාජපක්ෂ මහතාගේ මැතිවරණයට බැවින් එසේ ලබා දී ඇත්තෙ රාජපක්ෂ මහතාගේ කඳවුරේ ප්‍රභල ජාතිකවාදී ස්ථාවරයක සිටින හිමිනමකට විය යුතුය.

බෙංගමුවේ නාලක හිමියන්ද මානව හිමිකම් කවුන්සල සැසිවාර වලදී චීනය අපට සහය දෙද්දී විශාල පෙළපාලි වලින් ගොස් චීනයට ස්තූති කිරීමට කටයුතු කල අයෙකි. චීන තානාපති කාර්යාලය සමග ලංකාවේ ජාතිකවාදී ස්ථාවරයන්හී සිටින බලපෑම් සහගත භික්ෂූන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇත.

යැං ජි චී ගේ සංචාරයෙන් පසු වර්ධනය වූ භික්ෂු විරෝධය

ඉහත කී පරිදි යැංග් ජී චී නම් ඉහළ පෙලේ චීන නියෝජිතයා විසින් මේ වන විටත් ආණ්ඩුවේ නායකයන්ගෙ මූව්මන්ට්ස් චීනයට වාර්තා කර ඇත. කෙසේ වෙතත් 20ට එරෙහිව ගුණවංශ හිමි ප්‍රමුඛ භික්ෂූන්ගේ විරෝධය අසීමිත ලෙස වර්ධනය වන්නේ යැංග් ජී චීගේ සංචාරයෙන් සතියකට පමණ පසුවය.

කිසිවකුත් නොසිතූ ලෙස සිදු වන ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රමුඛ මේ භික්ෂූන්ගේ 20 ට එරෙහි අසීමිත විරෝධය සැබවින්ම 20ට එරෙහිම විරෝධයක්ද? ඉහත දේශපාලන තත්වය අනුව මෙම විරෝධයට ජීවය සැපයෙන්නේ කුමන ස්ථානයකින් විය හැකිද?

ජාත්‍යන්තර දේශපාලනය තුළ අතිශයින්ම තීරණාත්මක මැදිහත්වීම් කිහිපයක් ලංකාව අරඹයා මේ වන විට සිදුවන බව කිව හැක. අපට දැනෙන ආකාරයටනම් මේ 20ට එරෙහි නොසිතූ විරූ භික්ෂු පෙරළිය එහි එක පිටපතකි.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග