ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!

sri-lankan-migrant-workers-myanmar

ඩුබායි රටෙහි සේවයට යවන බවට පොරොන්දු වී මුදල්ගෙන සියලු ලියකියවිලි සාදා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරමින් නැවත ලංකාවට ඒමට මුදල් ඉල්ලීමේ පුවතක් කලත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

කලත්තෑව ප්‍රදේශයේ පදිංචි දනුක සුහාස් දේවගේ යන අය කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියක් මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි වී සිය විදේශ රැකියා සිහිනය සඵල කරගැනීමට සම්බන්ධ වී ඇත. එහිදී 2024 වසරේ මැයි 18 වන දින ඩුබායි ‍රටට යවන බවට පොරොන්දු වී මුදල් ද ගෙන සියළු ලියකියවිලි සදා ඩුබායි රටට යවා ඇතත් එහිදී රැකියා නොමැති බව පවසමින් මාස තුනකට පසුව එනම් අගෝස්තු මස ඔවුන්ව තායිලන්තයට රැගෙන ගොස් ඇත. පසුව තායිලන්තයේ සිට ඔවුන්ව වෙනත් වාහනවලින් හා බෝට්ටුවලින් මියන්මාරයට රැගෙන ගොස් දමා ඇති බවට වාර්තා වේ.

මේ වනවිට ඔහු ඇතුළුව තවත් 08 දෙනෙකුව ශාලාවක රඳවාගෙන හිරිහැර කරමින් වධහිංසා කරන බව ඔහුගේ මව පවසයි. ඒ අනුව දනුක සුහාස් යන අයට විදුලිය සැර වද්දමින් වදහිංසා කර ඇති අතර ඔහුගේ ශරීරය පුරා තුවාල ඇති බව ද පවසා ඇත. ඔහුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට ලක්ෂ 24ක මුදලක් ඉල්ලන බවද ඔහුගේ මව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට, විදේශ ඇමතිට පැමිණිළි කර ඇතත් මේවන තුරු කිසිදු ප්‍රතිචාරයක් හිමිවී නැත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ආයතනය දැනුවත් කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අනුරාධපුර ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0768182357

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

සටහන – චේතනා ගෝමිස්

Social Sharing
අවකාශය නවතම