ගම්පහට රුපියල් 5000 යළිත්?

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. මෙහිදී බොහෝ දෙනෙක් මුදල් හා අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

විශේෂයෙන්ම කටුනායක ප්‍රදේශයේ සිටින්නේ බෝඩිං කාමර වල සිට රැකියාවට යන අයය. ඔවුන්ගේ නවාතැනේ සිටින අයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් සෙසු අයට සිදුවන්නේ සෞඛ්‍ය උපදෙස් මත නවාතැනටම වී කාලය ගෙවීමටය. නැතහොත් ස්වයං නිරෝධායනය වීමටය. එහිදී මොවුන්ට වෙළඳසැල් වලට යාමේ අවස්ථාවක් නැත. එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාවක් නැත.  එසේම ඇතැම් විට ඔවුන්ගේ සන්තකයේ ඒ වන විට මුදල් පවා නැත. මේ නිසා ඔවුන් පත්වන්නේ දැඩි අපහසුතාවයකටය.

ඇඳිරි නීතිය පනවා ඇති සෙසු ප්‍රදේශ වල එදිනෙදා කුලී වැඩක් කර ජිවත් වූ පවුල්ද මේ වන විට සිටින්නේ දැඩි දුෂ්කරතාවයට පත්වය. වෙනදාට සමෘද්ධියෙන් ලබා දෙන මාසික සමෘද්ධි සහනාධාරයද මෙතෙක් ඔවුන්ට හිමිව නැත. එසේම ගියවර මෙන් මෙදා පාර ජංගම වෙළඳුන්ද නැත්තේය.  වෙළඳසැලට ගොස් බඩු ගැනීමටද මුදල් අවශ්‍යය.

ඒ නිසා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ 3 වන අදියර යටතේ මෙම ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙසය.

පවුල් 72,345 කට රුපියල් 361,725,000 ක ප්‍රතිපාදන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන ලෙස දිසාපතිවරයා ලිපියක් මඟින් ඉල්ලා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම