සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය අනිල් ජාසිංහගේ අඩුව දැනුණාද?

පළමු කොවිඩ් 19 ආසාදිත කාන්තාව පහුගිය 04 දා සොයා ගැනීමත් සමඟ සති දෙකක් යාමට මත්තෙන් රටේ සමස්ත කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 1700 ඉක්මවා ගොස් තිබේ. පළමුව මිනුවන්ගොඩින් ආරම්භ වු මේ වෛරසය දැන් දිස්‍ත්‍රික්ක 21 කට ව්‍යාප්ත වී ගොස් ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 ක නිරෝධායන ඇඳිරී නිතිය ක්‍රියාත්මක වුවද වෛරසයේ පාලනයක් තවමත් දක්නට නැත. මෙම කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු විය යුතු භූමිකාවද දැන් වෙනස් වෙමින් පවතියි.

කොවිඩ් වසංගතය පැමිණි පහුගිය දෙවතාවේදීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාවට සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු කළේය. විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදි අපට අමතක කළ නොහැකි චරිතයකි.

සෘජු තීරණ ගන්නා, සියලු දේට බියකින්, සැකයකින් තොරව මුහුණ දිය හැකි චරිතයක් වු ඔහු පහුගිය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ අයෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සිදුවිය යුතු සියලු දේ ඉටු කරමින් සියලු දෙනාම සමඟ සුහදත්වයෙන් කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිසා සෞඛ්‍ය සේවයේ සියලු දෙනාට යම් වේදිකාවක් තනා දීමට හැකි විය. පහුගිය කොවිඩ් සමයේ ජනප්‍රියම චරිත වුයේ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

නමුත් මෙවර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු වලදි මාධ්‍ය දැනුවත් කිරිමෙන්ද, ජනතාව දැනුවත් කිරිමෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය යම් පසුබෑමකට ලක්ව සිටින අයුරු දැක ගත හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකධුරයක් ඇති කළද කොවිඩ් 19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඔහුට මාධ්‍ය හමු පැවැත්වීමේ බලයක් නැත. ඒ සඳහා බලය ඇත්තේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටය.  ඔහුගේ උපදෙස් මත අවශ්‍ය වුවහොත් පමණක් සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය ඇමතිය හැකිය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත චක්‍රලේඛයක් යවා ඇත්තේ කොවිඩ් 19 සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලබා දීමෙන් වළකින ලෙසය. ඒ අනුව කොවිඩ් 19 සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගත හැකි ස්ථාන සීමා කිරිමට පියවර ගනිමින් සිටින බව මෙයින් පැහැදිලිව පෙනී යන්නේය.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් පවසන්නේ වෛද්‍ය අනිල් ජාසිංහ සිටියේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස ක්‍රියා නොකරන බවය.  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කරනු ලැබුයේ පහුගිය අගෝස්තු 13 දාය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනි.

2001 වසරේ සිට 2008 වසර දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අනිල් ජාසිංහ අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ අධ්‍යක්ෂ ධූරයට පත් කෙරුණු අතර  හෙතෙම 2012 වසරේ සිට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස  කටයුතු කළ අයෙකි.

මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔහු වැනි චරිතයක් අවැසි යුගයකි.

-ශානිකා-

 

Social Sharing
නවතම