සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පෞද්ගලික අංශයට යයිද ?

ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒ්ජන්සිය (ජයිකා) ඩොලර් බිලියන 1.5 ක සහනදායි ණය ව්‍යාපෘතියක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබු කොළඹ සිට රාජගිරිය දක්වා කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) කණු මත ඉදිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) අතහැර දැමීමට වර්තමාන රජය තීරණය කර තිබේ.

ජයිකා ආයතන මෙම ව්‍යාපෘතිය සදහා ලබා දෙන ණය  0.1% ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12 ක සහන කාලයක් සමඟින් වසර 40 ක කාලයකින් ආපසු ගෙවිය යුතුව තිබුනි. මේ සම්බන්ධව ඉඩම් අත්පත් කර ගැනීම ඇතුලු ව්‍යාපෘතියට අදාල මූලික කටයුතු පසුගිය රජය විසින් ආරම්භ කර තිබු අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී  මෙම ව්‍යාපෘතියේ පළමු අධියර සදහා ගිවිසුම් අත්සන් කිරීමටද නියමිතව තිබුනි.

කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පසුගිය 29 ය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කළ බවත්, ඒහි දී මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය හොඳම විකල්පය නොවන බවට තීරණය කර මෙම අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත්ය.

මේ සම්බන්ධව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කර තිබුනේ “අපිට ප්‍රමුඛතා තියෙනවා, ගම්වල මිනිස්සුන්ට බොන්න වතුර නැතිකොට එල් ආර් ටී වල ගිහින් හරියනවද? අපිට (විදේශ විනිමය) අනාවරණයක් ගන්න බැහැ. සියයට 0.1ක් නෙවෙයි නිකන් දුන්නත් අපිට ගෙවන්න තියෙනව නම් අපි අමාරුවේ වැටෙනවා. ලෝකයට (විදේශ විනිමය) නිරාවරණය නොවී අපි අපේ අවශ්‍යතාවයන්ගේ ප්‍රමුඛතාවයන් හදුනාගත යුතුයි. එල් ආර් ටී එකට ඉස්සල්ල එලිවේටඩ් රෝඩ් (කුළුණු මතින් යන පාර) හදාගන්න ඕන.”

ඒහි දී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය තුළින් රටේ විදේශ විනිමය නිරාවරණය වීමක් සිදුවන බැවින් එය රජය මගින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති නමුත් පෞද්ගලික පාර්ශවයක් විසින් එය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට විරුද්ධ නොවන බවත්ය.

 

Social Sharing
නවතම