‘දිවුලාගේ පුනරාගමනය ” – මගේ රතු සටන් සගයා නොහොත් my red comrade

මීට වසර දහනමයකට (19) පෙර කළ “සුදු සහ අළු  චිත්‍රපටය” ගෙන ආ සුදත් මහදිවුල්වැව 2024 අප්‍රේල් 5 දක්වාම එළිපිට පෙනෙන චිත්‍රපට තනන භූමිකාවේ නිමග්නව නොසිටියේය.

ඔහුගේ බරසාර දිග නාමය වෙනුවෙන් අප කවදත් ඔහු ඇමතූ ආදරණීය නාමය වන’දිවුලා”යන නාම පදය වැහැරීමේ පහසුව තකා මම මෙහි ඉදිරිය යොදා ගන්නේ ඔහුට ඇති ආදරය නිසාමත්, ඊට අවසරය පතමිනුත්ය.

දීර්ඝ නිහඬ වසර 19 කට පසුව දිවුලා ප්‍රේක්ෂකාගාරය මැදට චිත්‍රපටියක් රැගෙන විත් අතහරියි.

my red comrade නොහොත් මගේ රතු සටන් සගයා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය වෙත අමුතු හා නවමු අත්දැකීමක් එක් කරයි. නමුත් මේ වසර 19 තුළ විද්‍යාත්මක චිත්‍රපටකරණය ගැඹුරින් හදාරමින් ඔහු නිරත වූ පර්යේෂණවල  ප්‍රතිඵලද චිත්‍රපට කලාව අධ්‍යයනයේ නිරත සිසුන්ට දේශන හා පුහුණුව සඳහා මග සාදමින්ද දිවුලා රැස්කර ගත් පෝෂණය තුළින් උකහාගත් දැනුම් සම්භාරයේ කොටසක් මෙම චිත්‍රපටයට පර්යේෂණ යෙදවුමක් ලෙස අත්හදා බලා ඇති බව මුල් බැල්මට පෙනේ.

ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයාට පුරුදු චිත්‍රපට මාදිලියට හාත්පසින්ම වෙනස් චිත්‍රපටයකි my red comrade.

අතරමැදි විවේක කාලයක් නැතිව  විනාඩි අනූවක් (90) එක දිගට නැරඹිය හැකි මෙම චිත්‍රපටය එම කාලය තුළ “ඇය” සහ ‘ඔහු” ලෙස අඤ්ඤාත පදයකින් හඳුන්වන චරිත දෙකක් වටා භ්‍රමණය කරවීමට දිවුලා  පර්යේෂණාත්මක උත්සාහයක නියැලෙන අතර මගේ වැටහීමට අනුව නම් දිවුලා සිය අභිප්‍රා සාර්ථක ලෙස සාක්ෂාත් කරගෙන තිබේ.

මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය සහ හැඟුමන්ද සාපේක්ෂ වශයෙන් ආකෘතික (Model ) ස්වභාවයක් ගනියි. චිත්‍රපට කලා මාධ්‍යයක් වන නමුදු  එය සැමවිටම කුමන හෝ ආකෘතියක් තුළ (Film Form) දිගහැරේ. නැත්නම් නව ආකෘතියක් තනා ගනී.

චිත්‍රපටකරුවකු ලෙස දිවුලා විසින් යොදා ගන්නා ආකෘතිය පර්යේෂකයා සමග ගොඩනගන සම්බන්ධතාව විවිධ හේතු මත රස සංජානනය (Perception) කිරීමේ අනවරත උත්සාහයක  නිරත වන අතර එය මෙහිදී මධ්‍යස්ථ සපලතාවයක පවතී.

චරිත දෙකකින් මුළු චිත්‍රපටයම විනාඩි අනූවක් තිස්සේ අඛණ්ඩව පැවැත්වීම, තිරය මත දිස්වන  එක කුඩා අඳුරු කාමරයක් තුළට සීමා කොට පැවැත්වීම සඳහා මූලික ලෙස ඉතා ප්‍රබල තිර පිටපතක් අවශ්‍ය වේ. සුදත් මහදිවුල් වැව විසින් නිර්මිත ඇය සහ ඔහු අතරේ වන දෙබස් ප්‍රෙක්ශකයාගේ මනස හා සවන වශීකර බැඳ තැබීමට සමත්ය.

දිවුලා සිය නිර්මාණය චරිත දෙකකට සීමා කර රූගත කිරීමේ තලය (film location ) කුඩා කාමරයකට සීමා කර සිදුකරන මැජික් එක සිනමා විද්‍යාවේ හා සිනමා තාක්ෂණ දැනුමේ ප්‍රවීනයෙකුට පමණක්ම හැසිරවිය හැකි ලොජික් (logic )එකකි

මේ සඳහා පෙර කී පිටපතේ බස හා බසේ හඬ උච්චාරණයත්, කැමරා කෝණ හා ආලෝක පාලනයත් සංගීතය හා සංස්කරණයත් කලා අධ්‍යක්ෂණය හා වර්ණ සංයෝජනයත් උචිත මාත්‍රාවෙන් මුහු වීම අත්‍යාවශය  වේ.

කලා කෘතිය තුළ අධ්‍යක්ෂවරයා ගොඩනගන මනෝභාවයේ පැලවීම රඳාපවතින්නේ ප්‍රේක්ෂකයා ඒ තුළ උපදවා ගන්නා මනෝ වින්දනය මතය. එය දුක, සතුට, හාස්‍ය, ද්වේශය සහ උපහාසය හෝ වෙන කවර වූ හෝ දෙයක් විය හැක. එම මානසික උත්තේජනය කළ හැකි වූවාද යන්න ප්‍රෙක්ෂකයා විසින් තීරණය කරනු ඇත.

දිවුලා ඒ සඳහා කැමරා අධ්‍යක්ෂණයේ යෙදෙන රුවන් කොස්තා සහ කලා අධ්‍යක්ෂණය කරන මංජුල අයගම සමග මනා සංයෝගයක් ගොඩනගයි.

සිය කුඩා හා එකම රාමුව තුළ  ඉතා මන්ද (soft light) ආලෝකයක් වර්ණ ගැන්වීමේ දී උෂ්ණය අඩු මද වර්ණ (soft light ) භාවිතයත් ප්‍රෙක්ෂකයාගේ සිතටත්, ඇසටත් ඉතා සුවයක් ගෙන දෙන අතර එමගින් තිර රචනය ප්‍රේක්ෂක මනසට ප්‍රබල ලෙස කාවද්දවයි. අධ්‍යක්ෂවරයාගේ කැමරාකරු රුවන්ගේත් කලා අධ්‍යක්ෂ මංජුලගේත් ප්‍රයාමය මේ වර්ණාවලිය තුළ  ඉතා මිත්‍ර ලෙස සංයෝගී වෙයි. ඒ අතරම මද වර්ණ හා චිත්‍රයේ අධික ගිලී යාම වළක්වන්නට ඉතා කල්පනාවෙන් දිවුලා භාවිතා කරන්නේ උණුසුම් කරන තුනක් පමණි. ඒ දිදුලන රතු පැහැති වූ ඇයගේ රාත්‍රී ඇඳුමත්, අඳුරු පසුබිමේ හැද සිටින සුදු ටී ෂර්ට් එකත් අකුණක එළියත් පමණි.

සැඟවුණු විප්ලවවාදියාගේ අඳුරුගුහාව සහ ඔහුගේ අඳුරු වර්ණ ඇඳුමත් ජීවිතයෙන් පලා යන තමාටම ආවේනික ස්ථිර අදිටනත්, තුළ  සැබෑව සහ අරමුණ උදෙසා මුලාවීම සහ වත්මන් ශ්‍රී ලාංකික කාන්තාවගේ අපේක්‍ෂිත ජීවත්වීමේ ලාලසාව දිවුලා සහ මංජුල වර්ණ ගන්වනුයේ ආලෝකය සහ අඳුර හැටියට චිත්‍රපට තලයන්ගේ මාන ඔස්සේය.

මෙහිදී චිත්‍රපට විෂයෙහි එන ආලෝකයේ ප්‍රායෝගිකත්වය (practical) සඳහා බිත්ති පහන් (wall lamps) සහ ඉටිපන්දම් භාවිතය චිත්‍රපටයෙ චරිත දෙකෙහිම කාලාන්තරණය සහ අප්‍රයෝජ්‍ය වූ ජීවිතයේ දවස්  අතර කියවීමක් මතුකරයි. දිවුලා කතා වින්‍යාසයේ ක්‍රියාත්මක වීම් (plot action) තුළ  අඳුරු පසුබිමක හේතු සාධකයන් කාලීන අභිමතාර්ථයන් සඳහා (temporal goa) භාවිතා කරයි.

ඇයව සැම විටම ඩල් වර්ණ වලට සාපේක්ෂව තීව්‍ර  වර්ණ තුළින් ම වර්ණවත් කිරීමත් එම බොහෝ දර්ශන තුළ නවතා ඇති ස්කූටරයක් රූප රාමුව තුළ දකින්නට සැලැස්වීමත් තුළින් අධ්‍යක්ෂවරයා කෙතරම් උපක්‍රමශීලී ලෙස වර්තමාන තරුණ ඡන්දදායකයා චිත්‍රපටයේ දේශපාලන අරමුණ වෙත මෝහනයකර ඔබා ගන්නවාද යන විශ්මිත හැකියාවක් ලෙස කල්පනා කළ යුතුවේ.

නදීක ගුරුගේ මහතා කළ සංගීත සංකලනය ගායනා වෙනම ගත්කල ඉතා රසාලිප්ත වන අතර චිත්‍රපටයේ ගතිකත්වයන් සමග එය ගැලපුනාද යන්න නම් නැවත සිතිය යුතු කරුණක් බව මට හැගේ.

විශාල පොත් රාක්ක පසුබිමක  නිදන ඇඳක් සහ  ස්කූටරයක්ද, මේස සහ පුටුද ඔබ්බන ලද නමුත් ප්‍රෙක්ෂකයාට කුඩා අඩි පහළොව×පහළොව ප්‍රමාණ කොටුවක් හැඟෙන සේ මේ සියල්ල පෙන්වීමට චිත්‍රරපට විෂයෙහි එන නිපුණත්වය යොදා ගනියි. එනම් ප්‍රධාන චරිත හා කාමරයේ බඩු භාණ්ඩ අතරේ දුර හා දිග කෙටි කර පෙන්වීමට උපක්‍රමිකව මොන්තාජ් ශිල්ප ක්‍රමයේ භාවිතාවක දර්ශන තලයේ රැඳවීමයි. චිත්‍රපටය අවසන් වන තුරුම ප්‍රෙක්ෂකයාට එම තලය කුඩා කාමරයක් ලෙසම මනසේ තැන්පත් කරවයි.

කෙසේ වෙතත් මහදිවුල්වැව සිය දේශපාලනික අභිමතාර්ථයන් ප්‍රෙක්ෂකයා වෙත එළඹවනු පිණිසම මෙම චිත්‍රපටය අලංකරණ ආකෘතියක (Rhetorical form) රඳවා ගනී. මේ සඳහා ඔහු ප්‍රක්ෂකයාගේ ඇසට වඩා මනස අමතන වියුක්ත ආකෘතියක් (Abstract ) වියුක්ත ලෙස භාවිතාවට ගනී. මේ නිසා චිත්‍රපටයේ චිත්‍ර, වර්ණ , ආලෝකය  හඩ යන සාධක වලට වඩා අධ්‍යක්ෂවරයාගේ පණිවිඩය කෙරෙහි ප්‍රෙක්ෂකයා බැන්දවීමට දිවුලා සමත් වෙයි. අධ්‍යක්ෂකවරයාගේ අරමුණත් එයම වෙයි.

එකම රූප රාමුවක් තුළ චිත්‍රපටය පවත්වා ගනිමින් දිවුලා දක්ෂ ලෙස නිමැවුමක් ගෙන එයි. චිත්‍රපට කරණයේදී මිස් -එන් -සෙන් ලෙස හැඳින්වෙන මෙම ශිල්ප ක්‍රමය මුළු චිත්‍රපටය පුරාවටම භාවිතා කරයි.

මේ සියල්ල දුටුවිට දිවුලා සැබැවින්ම සාර්ථක ලෙස තාක්ෂණික හා පර්යේෂණාත්මක චිත්‍රපටයක් (experimental film) අත්හදා බලා තිබේ. එය සාර්ථක ලෙස ජයගන්නට ඔහු හා කණ්ඩායම  ගෙන ඇති වෙහෙස ප්‍රශංසනීය වේ.

මේ ප්‍රෙක්ෂකාගාරයට අලුත් අත්දැකීමක් අලුත් විදිහකට රස බලන්නට ලබා දෙන අතර  යම් හෙයකින් අපට පෞඩයැයි කියන සංස්කෘතියක් නොතිබුණා නම්, ඡන්දය දෙන වැඩිහිටියන්ට පමණක් නොව  හැමට නැරඹීමට නොහැකි තරම් අපුල බවක් මෙම චිත්‍රපටය තුළ මට නම් මුණගැසුණේ නැත. පෞඩ සංස්කෘතියේ සීගිරි ලලනාවටත්, ඉසුරුමුණි පෙම් යුවලටත් බලනොපෑ වැඩිහිටි සීමාව චිත්‍රපටයට බලපෑමට හේතු වී ඇත්තේ තට්ටං දෙකක් පමණක්මදැයි මා තුළ තිබෙන්නේ විචිකිච්චාවකි.

ආධුනික නළුවකු වන. ගේ ප්‍රෙක්ෂක ඇසට නුපුරුදු නව රංගනයෙන්ද අධ්‍යක්ෂවරයා අපේක්ෂිත චරිතය වෙනස් අත්දැකීමක් තුළ ගොඩනැගෙන බව මම සිතුවෙමි. මුළු චිත්‍රපටයේම ජීවය පවත්වාගෙන යාම’ඇය”නමින් දක්ෂ රංග කෞශල්‍යයක් මුදා හරින තරින්දි ෆර්ඩිනෑන්ඩු විසින් කරනු ලබයි. ඇය ඒ චරිතයට උචිත හා මනා සාධාරණයක් ඉටුකරයි.

සමස්තයක් ලෙස සුදත් මහදිවුල් වැව, ඉතා ලස්සන, මනබන්ධන චිත්‍රපටයක් ඔබට තෑගි කර තිබේ.

දිවුලා මෙම චිත්‍රපටය තැනීමට මුල් අඩිය තබා ඇත්තේම ලාංකික පුරවැසියා වර්තමානයේ මුහුණ දී සිටින සමාජ ආර්ථික කම්පනයන් විසින් ම ජන මනස තුළ මතුකර තිබෙන අවස්ථානුගත විශේෂ  ගතික ස්වභාවයන්හි දේශපාලන වාසිය (dynamics) උත්තේජනයක් ලෙස  සූක්‍ෂම ලෙස ඩැහැ ගැනීමෙනි.

ඒ අනුව දිවුලා මෙම රසවත් චිත්‍රපටය තනා ඇත්තේ හුදෙක් ම චිත්‍රපට රසය උදෙසා නොව, සිය පුද්ගලික දේශපාලන මනාපය සඳහා ප්‍රචාරක පටයක විලාසයකිනි.

‘වැඩිහිටියන්ට පමණයි” ලේබලය අපට හුරුය. එහෙත්’අවුරුදු 18 ට වැඩි ඡන්දය හිමි වැඩිහිටියන්ට පමණයි”යන ලේබලය යටතේ ගෙන එන මෙම චිත්‍රපටය එනයින්ම අපට අලුත් ලේබලයක් හඳුන්වාදෙයි. ඒ හඳුන්වා දෙන්නේද මැතිවරණ වර්ෂයකදී අප්‍රෙල් 5 දිනකදී ය. චිත්‍රපටයේ මාධ්‍යකරුවන් සඳහා වන දර්ශනය අප්‍රේල් 5 දින PVR සිනමාහිදී එළි දක්වයි. චිත්‍රපටය තනන නිෂ්පාදකයා’ රතු කවය” සංවිධානයයි/සමාගමයි.

අප්‍රේල් 5 යනු 1971 අප්‍රේල් 5 දින අසාර්ථක ලෙස වැල්ලවාය පොලිසියට වෙඩි තබා පහරදී  රජය පෙරලා දමා සන්නද්ධව තුවක්කුවෙන් ආන්ඩුවේ බලය  අල්ලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් අති දුෂ්කර වැල්ලවාය වැනි ගම්මාන වල ගම්වැසියන් පොළඹවාගෙන ඔවුන්ට විනාශය ගෙන දීම ආරම්භ කළ දිනයයි. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ එම අප්‍රේල් 5 දිනය’ඉල් මහ විරු දිනයක්”ලෙස වාර්ෂිකව සමරන අතර  එම විරු දින වලට සහභාගී වන අලුත් පරපුරේ සමහරුන්  මෙය මෙලෙස සිදුවූ බවවත් නොදනී.

my rad comrade  නොහොත් මගේ රතු සටන් සගයා යන යෙදුම අපට මුණ ගැසෙන්නේ සාර් රුසියාවේ 1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය ආශ්‍රිත කාලයේ සහ ඊට පසුව සෝවියට් රුසියාව තුලයි. ඒ අප සිත් බැඳගත් සෝවියට් රුසියන් සාහිත්‍ය හා දේශපාලන ලියවිලි අතරේය.

දිවුලා ලංකාවේ යථාර්ථ දේශපාලන සංසිද්ධි හා වකවානු අලලා නිර්මාණය කරන තිර පිටපත තුළින් ප්‍රක්ෂකාගාරයේ මනසට විධි දෙකකින් බලපෑම් කිරීමට සිය කුසලතාව සහ නිපුණතාවත්, සිනමාත්මක පරිනතභාවයත් යොදාගනී.

එයින් පළමුවැන්න නම් චිත්‍රපටය තුළ කෙරෙන කලාත්මක ප්‍රකාශනයයි. එය නරඹන්නාව කලාත්මක ලෙස මෝහනය කිරීමට සමත් වන අතර  ඇසිපිය නොහෙලා බලා සිටීමට ඇති ලාලසාව වැඩිකරයි.

දෙවැන්න නම් ප්රේක්ෂකාගාරය තුළ, ප්රේක්ෂකයාගේ මනස තුළ  අමූලික බොරුවක් නිදන් ගත කිරීමයි.

එනම් 1988-1989 කාලයේ එක්තරා වාමාංශික කඳවුරක් විසින් කොමියුනිස්ට් විප්ලවයක් හෝ වමේ දේශපාලනයක නිරතවීම නිසා එම කණ්ඩායම ත්‍රස්තවාදීන් ලෙස රාජය මර්ධනයට ලක්වූ බව ප්‍රේක්ෂකාගාරයට කීමයි. එයා අමූලික අසත්ත්‍ය හා බොරුවකි. 

චිත්‍රපටයක් යනු යම් සිද්ධියක් ඇත්තක් සේ නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන කලා මෙවලමකි. ඕනෑම ප්‍රබන්ධයක් චිත්‍රපටයක අන්තර්ගතය කරගැනීමට චිත්‍රපටකරුවාට නිදහස තිබේ. චිත්‍රපටයක ප්‍රකාශනයේ විශේෂත්වය වන්නේ ඇත්තක් සේ නිර්මාණය එළිදැක්වීම නොහොත් යථාර්ථ ලෙස පෙන්වීමට ඇති හැකියාවයි. මේ අනුව චිත්‍රපටයක් ඇත්ත කියන මෙවලමක් වීම අනිවාර්ය නොවේ. එහෙත් එයින් චිත්‍රපටකරුවාට හිතුමනාපෙට ක්‍රියා කරන්නට ඉඩ ලැබේ යැයි චිත්‍රපටකරුවා සිතන්නේ නම් එය වැරදි වටහා ගැනීමකි.චිත්‍රපටකරුවා සත්‍ය ඉදිරිපත් කිරීමට බැඳී නොසිටින නමුත්, සත්‍ය කාල වකවානු ගැන අතේ පැලවෙන බොරුවක් ඉදිරිපත් කිරීමට, ජනගත කිරීමට  එයින් ලැයිසොං කඩදාසියක් ඔහුට හිමි නොවන බව දැන ගැනීම වැදගත්ය. 

1988-1989 වකවානුවේ ලංකාවේ කිසිම විමුක්තිය අරගලයක් සිදු නොවුණු අතර “දේශප්‍රෙමී ජනතා ව්‍යපාරය” නමින් තමන්ව අන්වර්ථ නාමයකින් හඳුන්වා ගත් කණ්ඩායමක් (ජනතාව සහභාගි නොවූ) විසින් ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ එවකට තිබූ ප්‍රධාන බලශක්ති උපදවන ක්‍රමය වන ජල විදුලිය රැගෙන එන රැහැන් සහ විදුලි කණු විනාශ කර  විදුලිය බෙදා හරින විදුලි ට්‍රාන්ස්ෆෝමරයන් (electricity transformers ) පුපුරවා හැර,   විදේශ විනිමය උපදවන අපේ රටේ නිෂ්පාදන  වරාය හා ගුවන් තොටුපළ වෙත ගෙන යන දුම්රිය පාරවල් සහ පාරවල් විනාශ කර  දුම්රිය එන්ජින් ගිනි තබා, වරාය කටයුතු කඩාකප්පල් කර  විශාල නිෂ්පාදනාගාර (factories) සිය ගණනක් ගිනිබත් කර විදේශ විනිමය ඉපයීම  විනාශ කර ලංකා ආර්ථිකය  විනාශ කර දමන ලදී,

රාජ්‍ය බිඳ වට්ටවා තුවක්කුවෙන් බලය ඇල්ලීමට දැරූ ම්ලේච්ඡ උත්සාහයේදී මාස පඩියට රජයේ රැකියා කළ අහිංසක මිනිසුන් හට පවුල රැක ගත් රස්සාවෙන් ඉවත්වන ලෙස බල කළ හැටි? දරුවන් බිරින්දෑවරු ඉදිරියේ ගෙයි දොරකොඩදීම  ඒ අහිංසකයන්ව  අධ්‍යක්ෂවරයාගේ සම්භාවනාවට පාත්‍ර වූ ගරිල්ලා සටන්කරුවන් විසින් වෙඩි තබා මරා දැමූ හැටි? ඒ රජයේ සේවකයින්ට ගෞරවනීය මරණයක් නොදිය යුතු බවට තුංඩු කෑල්ලකින් අණ කළ හැටි? එම මළමිනිය  දණහිසෙන් පහලට වෙන්න ලණු කෑලි වල එල්ලා මිසක් කනත්තට  ගෙන යාම තහනම් කළ හැටි? මේ සියල්ල දක්ෂ අධ්‍යක්ෂවරයෙකුට අමතක වූ හැටි? මේවා කිසිවක් නිදහස් අරගලයක හෝ උසස් විප්ලවයක  සිදුවන දේ නොවේ. අද නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය කරේ තියාගෙන දුවන රතු තාරකාවෝ එදා ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණ වන ඡන්දය පාවිච්චි කිරීම තහනම් කළ හැක පළමුව ඡන්ද දෙන පස්දෙනා ම වෙඩි තබා මරා දමන්නට තීරණය කළ හැටි කවර නම් මානවවාදී විප්ලවීය ගුණාංග ද?එය බරපතළ ආර්ථික හා සමාජ විනාශයක් විය. සැඟවී සිට ගරිල්ලා සටන් කරමින් ආර්ථිකය විනාශ කළ උන්  මර්දනය කිරීමට සමත් නොවුනා නම් 2022 සිදු වූ තෙල් හිඟය, ණය බර සහ ආහාර හිඟයත්, බෙහෙත් හිඟයත් ජාතික ආර්ථිකය කඩා වැටීමත් මෙරට ජනතාවට විඳගන්නට සිදුවන්නේ 2022 නොව 1989 දී ය. වාසනාවකට මෙන්  එය මැඩ පවත්වන ලදී.  එදා ජාතික ආර්ථිකය විනාශ කළේ තිරයෙන් පිටුපස ඇති රහසිගත අභිලාෂයක් සඳහා වන කොන්ත්‍රාත්තුවකටය.

2022 වන විට රාජපක්ෂ පාලනය තුළ ජාතික ආර්ථිකය විනාශ වීමේ දී රට සහ ජනතාව දුප්පත් වීමත් ඒ රෙජීමය තුළ බලවන්ත පවුල් සහ සහචරයන් පිරිසක් අධික ලෙස ධනවත් වීමත් තුළ අයුතු ධනවත් වීම සහ සොරකම ස්ථානගත වෙයි. 1989 ජාතික ආර්ථිකය විනාශ කරන ලදී. 2022 ජාතික ආර්ථිකය විනාශ කරන ලදී.

හාස්‍යයට කරුණ නම් 2022 ජාතික ආර්ථිකය විනාශ කළ උන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දීමේ ව්‍යාපාරය අද මෙහෙයවන්නේ 1989 ආර්ථිකය විනාශ කළ තක්කඩියන් විසින් වීමය. සමහර දූපත්වල වෙසෙන්නේ යක්ෂයාගෙන්ම විමුක්තිය ඉල්ලන අන්ධ මිනිසුන්ය. අවාසනාව නම් එවැනි දූපත්වල සමහර යහපත් කලාකාරයෝ ද නොදැනීම යක්ෂයාගේ දෙවොලේ වැඩට යති.

චිත්‍රපටකරුවකුට තම දේශපාලන මතය  සිනමාව තුළ ප්‍රක්ෂේපණ ගතකොට නිර්මාණය කිරීමට පූර්ණ නිදහසක් තිබේ. චිත්‍රපට  කලාව තුළ  දේශපාලනය සටහන් ගත කළ හැකි වුවද ,  තම පුද්ගලික දේශපාලනය සඳහා චිත්‍රපට කලාව  හෙවත් විෂය යොදා ගැනීමට හෝ භාවිතා කිරීමට චිත්‍රපටකරුවාට අයිතියක් නැත.

මා මිත්‍ර මහදිවුල්වැව සිය චිත්‍රපටය තුළ හේතුව සඟවා ඵලය පමණක් දිගහැර  ජනතාවගේ කෝපය හා සංවේදනාව දේශපාලනික මුලාවන් තුළ, මේ මැතිවරණ වසරේදී අවභාවිතා කිරීමට සිය කුසලතාවය මැනවින් යොදා ගන්නේ කලාවේ ප්‍රශස්ත බවත්, අරමුණේ අසික්කිත බවත් සමසමව ස්ථානගත කරගනිමිනි.

ජාතික ආර්ථිකයේ හා ජන ජීවිතයේ විනාශකරුවන්ට ශ්‍රේෂ්ඨ රතු විප්ලවවාදියෙකුගේ ඇඳුම ඇන්දවීම එක් අතකින් යක්ෂයා සුදුවට වර්ණ ගැන්වීමක් වන අතර  අනෙක් අතට ලොව පුරා සිටි හා සිටින ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන්ට පහත් ලෙස ඔච්චම් කිරීමකි.

 මා දන්නා තරමට සුදත් මහදිවුල්වැව යහපත් හා ආදරණීය මිනිසෙකි.

චිත්‍රපට විචාරය – ජනක එදිරිසිංහ

 

 

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග