මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට ප්‍රණාමය පුද කරන්නෙමු

අවුරුදු උත්සව සමයේ දී රජය නිවාඩු දිනයන් ප්‍රකාශ කර සිටියද මහජන සේවා සපයන ආයතන මෙරට වැසියන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ වෙනුවෙන් තම සේවාව ලබා දීම ඇගයීමට ලක් කළ ටයුතු කරුණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති වන ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිළධාරීන් තම වගකීම් නොපිරිහෙලා කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එය ඉතාමත් අගය කල යුතු තත්ත්වයකි. එමෙන්ම එයට ශ්‍රී ලංකා රේගු දෙපාර්ත්මේන්තුව ද සහය දක්වා තිබීම ඉතා අගනේය.

මෙම ආයතන දෙක ගෙන ඇති පියවර මහජන සේවා සපයන අනෙකුත් ආයතනවලට ද මහඟු ආදර්ශයක් සේ සලකමු. විශේෂයෙන්ම මෙවැනි උත්සව සමයක ගමනාගමන, සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය පාරිභෝගික සේවා සපයන ආයතනයන්හි කැපවීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය.

ඒ අනුව සැලකීමේදී මෙවැනි පියවර අවසාන වශයෙන් රටේ මහජන සුබසෙත උදෙසා වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා කැපවන සියල්ලන් වෙත අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

එමෙන්ම ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලංකා සහෝදර සහෝදරියන්ට හා දූ දරුවනට යහපතම උදාකරන්නා වූ වාසනාවන්ත කාලයක් ම වේවා යයි ඉතසිතින් සුභාශිංසනය කරන්නෙමු.”

 

 

Social Sharing
නවතම පුවත්