පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?

sri-lanka-podujana-peramuna

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්. රාජපක්ෂලා කිව්වට චමල්ලා, ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ. ඉල්ලීම එන්නේ මහින්ද, බැසිල් නාමල් කියන තුන්කට්ටුවෙන්.

රනිල් අනුප්‍රාප්තික ජනාධිපති උනාට පස්සේ පොහොට්ටුව පැත්තෙන් ප්‍රධාන දේශපාලන ඉල්ලීම් දෙකක් රනිල්ට ඉදිරිපත් කරලා තිබුණා. එකක් නියමිත කාලය අවසන් වෙනකම් පාර්ලිමේන්තුව විසුරවන්න එපා කියන ඉල්ලීම. අනික ජනාධිපතිධූරය පාව්චිචි කරගෙන එජාපය promote කරන්න එපා කියන ඉල්ලීම.හැබැයි දැන් එකපාරට 180° ක් අනිත් පැත්ත හැරිලා පාර්ලිමේන්තුව විසුරවන්න කියලා රාජපක්ෂලා රනිල්ට බල කරනවා.

ඒක සාධාරණීකරණය කරන්න බැසිල් කියන්නේ ජනාධිපතිවරණය තියලා ඊට පස්සේ මහ මැතිවරණය තිබ්බොත් ජනාධිපතිවරණය දිනන කෙනාගේ පක්ෂයට හෝ සන්ධානයට පාර්ලිමේන්තුවේ අසීමිත බලයක් හිමි වෙනවා කියලයි,සමහරවිට ඒක තුනෙන් දෙකක් වෙන්නත් පුළුවන්.එහෙම උනොත් ජනතාවගේ අවශ්‍යතාවලට වඩා පාලකයා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න ඒ බලය පාවිච්චි කරගනී කියලයි බැසිල් කියන්නේ.

ඇත්තටම බැසිල් කියන කතාවේ ඇත්තක් තියනවා.හැබැයි ඒ ජනතා ද්‍රෝහී වැඩේ හොඳටම කළේ රාජපක්ෂලා බව ඉස්සෙල්ලාම බැසිල් පිලිගන්න ඕනි.රාජපක්ෂලා ගෝඨාභය ජනාධිපති කරලා ඊට පස්සේ මහ මැතිවරණය තියලා තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් හදා ගත්තා.එදා හිටිය බැසිල්ට අනුව ඒක හරි උනාට අද ඉන්න බැසිල්ට අනුව ඒක වැරදියි.ඒ වගේම ඒ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා තමයි 19 වෙනි සංශෝධනය අහෝසි කරලා අත්තනෝමතික 20 වෙනි සංශෝධනය ගෙනාවේ.

බැසිල් වගේ ඇමරිකන් පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තුවට එන්න දොර විවෘත උනේ 20 වෙනි සංශෝධනයෙන්. අද ඉන්න බැසිල්ගේ විග්‍රහයට අනූව ඒකත් වැරදියි. එදා ජනවරම පාවිච්චි කරගෙන රාජපක්ෂලා කරපු තක්කඩිකම් ආපිට හැරෙව්වේ ගෝල්ෆේස් අරගලයෙන්. ගෝල්ෆේස් අරගලයෙන් දුන්න පීඩනය නොතිබෙන්න තවමත් අපි 20 වෙනි සංශෝධනය යටතේ ජීවත් වෙන ජාතියක්.

20 අහෝසි කරලා ඊට වඩා යම් හෝ සාධාරණයක් තියෙන 21 ක ගේන්න බලපෑම සිද්ධවුනේ ගෝල්ෆේස් අරගලයෙන්. බැසිල් දැන් කියන විදිහට රාජපක්ෂලා ජනවරමට මුවාවෙලා කරපු දේශපාලන තක්කඩිකම් ආපිට හැරෙව්වේ ගෝල්ෆේස් අරගලය කියලා බැසිලුත් පිලිඅරන්. බලය තියන කාලේ ඒක පවුලේ බූදලයක් විදිහට පාවිච්චි කරපු රාජපක්ෂලා පාරට බහින් බැරිවෙකොට ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පටන් අරන්.

රටේ රාළ කියන්නේ පුළුවන්නම් ඔය කතා ජනතාව අතරට ඇවිත් කියන්න කියලයි. අපේ රටේ මේ නිර්මාණය වෙලා තියන අර්බුදය පියමං කරන්න වඩා සුදුසු මහ මැතිවරණයක්ද නැත්තං ජනාධිපතිවරණයක්ද කියන එක විවාදාත්මක කාරණයක්. හැබෑයි දැන් මහ මැතිවරණයක් තියන එක ප්‍රායෝගික නොවෙන්න කරුණු කාරණා ගණනාවක් පෙළගැහිලා තියනවා.රනිල් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් රනිල්ට වැඩි වාසිය තියෙන්නේ කෙලින්ම ජනාධිපතිවරණයකට යන එකයි.

අනික මේ පාර්ලිමේන්තුව රනිල්ට කොන්ට්‍රෝල් එකක්. පක්ෂ,විපක්ෂ බහුතරය ඉන්නේ රනිල් එක්ක. එහෙම පාර්ලිමේන්තුවක් විසුරවලා ඇයි රනිල් අවධානම් සහගත පාර්ලිමේන්තුවක් ගෙන්න ගන්නේ. රනිල් කලින් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් රනිල්ට ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය හම්බ වෙන්නේ නෑ.රාජපක්ෂලා මොන බයිලා ගැහුවත් ඒක තමයි ඇත්ත.

එහෙම උනොත් ජනාධිපතිවරණ තරඟය බොහෝ දුරට සජිත් සහ අනුර අතර නිර්මාණය වෙන්න පුළුවන්. එතනදී රාජපක්ෂලා සජිත්ට සහය දෙයි. ඊළඟට මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය නවකයෝ.එයාලා කවුරුත් පාර්ලිමේන්තුව විසුරවනවට කැමති නෑ.අඩුම ගානේ රනිල්ට කියලා පැන්ෂන් එක හරි බේරගෙන ගෙදර යන්න හිතන පිරිස වැඩියි. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩදෙනෙක් දන්නවා ඊළඟ පාර එන එක ෂුවර් නෑ කියලා.

ඒක නිසා පුළුවන් තරම් කල් ඉන්න තමයි කට්ටියගේ කල්පනාව. එහෙම තත්වයක් යටතේ තියන මේ පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයකට යන්න මහින්දට, බැසිල්ට සහ නාමල්ට තියන කඩිකුලප්පුව මොකද්ද? මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයකට යන එක රටට හොඳම උනත්, නරක් නරක් උනත් රාජපක්ෂලා ප්‍රශ්නය දිහා බලන්නේ ඒ ආර්ථයෙන් නෙවෙයි. එයාලා බලන්නේ පවුලේ අර්ථයෙන්. පවුල සහ පවුලට හදපු පක්ෂය බේරගන්න නං මේ වෙලාවේ මහ මැතිවරණයකට ගිහින් කණ්ඩායමක් බිලි දෙන්න වෙනවා.

කොහොම හරි මහ මැතිවරණය තිබ්බත් ජනාධිපතිවරණය තිබ්බත් ඒකෙන් පොහොට්ටුවට වෙන යහපතක් නෑ.තිබුණ මන්ත්‍රීධූර ගාන කීපගුණයකින් අඩු වෙනවා. පොහොට්ටුවේ කෙනෙකුට ජනාධිපති වෙන්න බෑ කියලා බැසිලුත් දැන් පිලිගන්නවා.එහෙනම් බැසිල්ලා මේ මොකද්ද කරන්න හදන්නේ?

මේ හදන්නේ මහ මැතිවරණ ප්‍රතිපලයක් එක්ක දිනන පැත්තට ජැක් එකක් ගහන්න.

මේ තත්වය යටතේ මහ මැතිවරණයක් තිබ්බොත් බහුතර බලයක් කාටවත් ගන්න බෑ.ඒක නිසා හැදෙන්නේ සභාග ආණ්ඩුවක්. ඒ සභාගයේ අගමැතිකම හරි ඇමතිකම් කීපයක් හරි පවුලට බේරගන්න තමයි මේ හදන්නේ. ඊළගට මෙතන තියන වැදගත්මදේ තමයි රාජපක්ෂලා හැර ගිය සියලුදෙනාට පාඩමක් උගන්නන්න මේ හරහා රාජපක්ෂලාට ආයෙත් අවස්ථාව එනවා.ඉක්මන් මැතිවරණයකට යැමෙන් පොහොට්ටුව හැර ගිය බහුතරයකට නාම යෝජනා ප්‍රශ්නයක් එනවා.

හදිසි මහ මැතිවරණයකදී එයාලට එකපාරට හිටගන්න තැනක් නෑ. හිටගත්තත් එයාලගේ ඡන්ද බේස් එක තියෙන්නේ වෙන තැනක. ඒක නිසා කාටත් ආපහු පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලගෙන එන්න වෙනවා.ඒ කියන්නේ ආයෙත් වටයකින් රාජපක්ෂලා ඉස්සරහා දණ ගහන්න වෙනවා.බැසිල්, මහින්ද සහ නාමල් කරන්න හදන්නේ ඒ වැඩේ. ඇත්තටම ජනාධිපතිවරණ මඟහැරලා රනිල් මහ මැතිවරණයට යනවා නම් ඒක පාවාදීමක්. ඒ වගේම රට යම් පමණකට හරි ස්ථාවර කරලා තියනවා නම් ඒක නැවත බිඳ වැට්ටවීමක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග