ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව

rohan samarajeewa srilankan airlines loss JVP

වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි.

යෝජනා ඉල්ලීම් කැඳවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා  ටෙලිකොම් සහ ලිට්රෝ වැනි රාජ්‍ය ව්‍යවසායන් විකිණීමෙන් වළකින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ නායකයෙක් වන සුනිල් හඳුනෙත්ති මහතා රජයෙන් (සහ මිලදී නොගන්නා ලෙස අනාගත ගැනුම්කරුවන්ගෙන් ) ඉල්ලා ඇත. ඔහු ව්‍යංගයෙන් කියන්නේ ඔවුන් බලයට ආවොත් විකුණු දේ ආපසු ගන්න බවයි. ලංවිම ගැනද සඳහන් වන නමුත් එම ආයතනය සඳහා එවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නේ නැත.

ප්‍රතිපත්තිමය වැරදි

ඩොලර් මිලියන 210 ක ඩොලර් ණය සහ රුපියල් බිලියන 41.4 ක රුපියල් ණය ගුවන් සමාගමේ ගිණුම්වලින් ඉවත්කොට පවරාගන්නා බව ද රජය නිවේදනය කර ඇත. මෙය මහජනයා අතර බොහෝ දෙනාගේ කෝපයට හේතු වී ඇති බව තේරුම් ගත හැකි ය. ඔවුන් තර්ක කරන්නේ, වරක් භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවූ ගුවන් සමාගමක් මෙම කනගාටුදායක තත්ත්වයට පැමිණීමට වැරදි තීරණ හේතු වූ බව යි. ඔවුන් තර්ක කරන්නේ එම තීරණ ගත් පුද්ගලයන් වගකීමට යටත් කළ  යුතු බවට යි.

වැරදි තීරණ ආරම්භ වූයේ පොඩි ආරෝවක් හේතුවෙන් මහින්ද රාජපක්ෂයන් 2007 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත ජනසතු කිරීමත් සමඟ ය. එතැන් සිට විවිධ තනතුරුවලට නැවත තේරී පත්වී තිබීමෙන් පෙනෙන්නේ ඔවුන් දේශපාලන ක්‍රියාවලිය හරහා වගවීමකට යටත් කිරීමක් සිදු කර නොමැති බව යි. දේශපාලනමය වගවීමෙන් නිදහස් වුනු රාජපක්ෂයන් තවතවත් වැරදි කළේය. වැඩ බැරි මස්සිනෙක් සභාපති කළේය. කොමිස් ගත් බවට සාක්ෂි සහිතව පසුව ඔප්පු වුනු අයෙක් ප්‍රධාන විධායක නිලධාරී කළේය. සමහර විට, කෝප වූ පුද්ගලයින්ට අවශ්‍ය වන්නේ යම් ආකාරයක අධිකරණ ක්‍රියාවලියක් විය හැකි නමුත්, අපේ නීතියේ අපේක්ෂිත පරිදි ක්‍රමවත් නොවන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට එරෙහිව දඬුවම් කිරීමේ විධිවිධාන නොමැත.

ප්‍රතිපත්තිමය වැරදි සම්බන්ධයෙන් ගත් විට, ප්‍රතිපත්තිමය මැදිහත්වීම්, අධිකරණයේ නඩු පැවරීම වැනි ක්‍රම භාවිත කරමින් ඒවා වළක්වා ගැනීමට උත්සාහ කරනවා හැරෙන්නට වෙනත් කිසිවක් කළ නොහැකි ය. එය අසාර්ථක වුවහොත්, අසාධාරණයට ලක් වූ මහජනතාව අපරාධකරුවන්ට එරෙහිව ඡන්දය දිය යුතු ය.

ජවිපෙ ප්‍රකාශයන්ගේ ප්‍රතිවිපාක

ජවිපෙ නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ  අයහපත් ලෙස කළමනාකරණය කිරීමත්, එමගින්, හොඳ ම තත්ත්වයේ දීත්, භාණ්ඩාගාරයට ලැබිය යුතු අවමයට වඩා අඩු ප්‍රතිලාභ ලබා දෙමින් සහ නරක තත්ත්වයේ දී මහජන මුදල් දවමින් පවත්වාගෙන ගිය රජයට අයත් ව්‍යවසායයන් විකුණා දැමීමට දැන් කරගෙන යන ක්‍රියාවලිය නවතා දැමීමට යි. මෙම ක්‍රියාවලිය පාලනය කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විකිණීමේ ප්‍රතිපත්තියක් මගින් වන අතර, ඇතැම් පෞද්ගලීකරණයන් පිළිබඳ තම අභියෝගය ඉවත් කර ගැනීමට මෑතක දී ලයිකාමොබයිල් සමාගම ගත් තීරණයෙන් පෙන්නුම් කරන පරිදි,  එය විනිවිදභාවයෙන් හා නිසි ආකාරයෙන් සිදු කෙරෙයි.

විකිණීම් නතර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වුවහොත්, එහි අහිතකර ප්‍රතිඵල පහව යන්නේ නැත. උදාහරණයක් ලෙස, මේ ක්‍රියාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ගෙන ඇති භාණ්ඩාගාරය විසින් සහතික කරන ලද ණය ගෙවීමෙන් බදු ගෙවන්නා නිදහස් වන්නේ නැත. මන්ද, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එය ගෙවීමට නොහැකි බැවිනි. රජය ඇප වී ඇති බැවිනි.

ගුවන් සමාගමට එහි කොටස් හිමියා වන භාණ්ඩාගාරයෙන් සැලකිය යුතු අරමුදල් සම්පාදනයකින් තොරව උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමට නොහැකි වනු ඇත. අවශ්‍ය අරමුදල් ලබා දීමට භාණ්ඩාගාරයට නොහැකි නම්, ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වැඩි වීම නොවැලැක්විය හැකි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මගීන් අඩුවී ආදායම් පිරිහී පාඩු තවත් වැඩි වනු ඇත. මෙය භාණ්ඩාගාරයේ සහතික කළ ණය වැඩි වශයෙන් ලබා ගැනීමට හෝ බංකොලොත් භාවයට හෝ  හේතු වනු ඇත. ගුවන් සමාගමේ ණයවලට ඇපකරු ලෙස ඉදිරිපත් වීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමට පටහැනි නිසා එකම විකල්පය බංකොලොත් වීමය.

රජය නොසැලී  විකුණුම් දිගටම කරගෙන ගියද, මෙවැනි ප්‍රකාශයන් මගින් ලංසුකරුවන් අතර අවදානම පිළිබඳ හැඟීම වැඩි කරන අතර විකුණුම් වලින් ලැබෙන ප්‍රතිලාභ අඩුවීමට එය හේතු වේ. මෙහි දී සිදුවන්නේ ආණ්ඩුව මේ ව්‍යාපාර අඩු මිලට විකිණීම නොව, ලබා ගත හැකිව තිබු මිල ගණන් අඩු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කිරීම යි.

ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ බදු ගෙවන්නන්ට හානි සිදුකරන ප්‍රතිපත්තිමය වැරැද්දක්ය. මහින්ද රාජපක්ෂ එදා කල වැරදි වලට අද ගෙවන්නේ මහජනතාවය.  ජවිපෙ අද කරන වරද හේතුවෙන් වන පාඩු ගෙවන්නට වන්නේද මහජනතාවටය. ජවිපෙ ගිනුමෙන් පාඩු පියවන්නේ නැත.

ජනතාවට බරක් වූ ‘ශ්‍රී ලංකන්’ විකුනන්න යයි

අද අපගේ හදිසි කාර්යය විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සහ විවිධ පාර්ශ්වවල බලපෑම්වලට අවනත නොවී මේ සුදු අලියාගෙන් අපව නිදහස් කරන ලෙස රජයට බල කිරීමය. එමගින් තවදුරටත් ණය වීමෙන් අප ආරක්ෂා වන අතර ශ්‍රී ලංකන් නමින් ක්‍රියාකාරී ගුවන් සේවයක් අනාගතයේ පවත්වා ගනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇත. එම උත්සාහය අසාර්ථක වුවහොත්, පැහැදිලි ප්‍රතිපත්තිමය වැරැද්දක් ආක්‍රමණශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලනිකව වගවීමට යටත් කිරීමට අපි සූදානම් ද? නැතිනම් මහින්ද රාජපක්ෂව දේශපාලන වග වීමෙන් නිදහස් කළා මෙන් ඔවුන්වත් නිදහස් කරන්න ද?

මහාචාර්ය රොහාන් සමරජීව

(දේශපාලන හා සමාජ ක්‍රියාකාරික)

theleader.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග