මෙරට ස්ථාපිත වන විදෙස් විශ්වවිද්‍යාල තුනෙන් දෙකක්ම ඉදි වෙමින් පවතිනවා…

මෙරට ස්ථාපිත වන විදෙස් විශ්වවිද්‍යාල තුනෙන් දෙකක්ම දැනටමත් ඉදි කෙරෙමින් පවතින අතර තුන්වැන්න මැයි මාසයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය.

අධ්‍යාපනයට සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙසේ ද පැවැසීය.

ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිතයි. අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද අප සූදානමින් සිටිනවා. විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කරගැනීමට අප කටයුතු කළා. එහි දී ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහි දී ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. ඔහු සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් මෙරටට පැමිණීමට නියමිතයි.

Social Sharing
නවතම පුවත්