මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ඊයේ (22) හිමිවුණි.

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධි විධාන සැලසීම සඳහා ද තම නම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා තිබේ.

ඊට අමතරව මෙරට තුළ තහනම් කාර්යය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා, ප්‍රකාශයට පතකිරීම සඳහා විධි විධාන සැලැස්වීම ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම යන කාරණා සඳහා ද මෙම පනත් කෙටුම්පත මඟින් විධි විධාන සලසා ඇති බව සඳහන්ය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට ද පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා තිබේ.

අද සහ හෙට (24) මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය පවත්වා සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත හදිසියේ සම්මත කර ගැනීමට විරෝධය පළකරන බව සමගි ජනබලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවය.

මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීමට නියමිතය.

අද දිනයේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද සහ හෙට යන දෙදින තුළ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේතුව සඳහන් කළේය.

මේ අතර හෙට දිනයෙන් පසු පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්