ප්‍රභාකරන්ගේ දියණිය ලෙස AI තාක්ෂණය භාවිත කරමින් නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය

 

හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ජීවත්වන බවට හඟවමින් AI තාක්ෂණය භාවිත කරමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය දා නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇත.

ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේදී මෙම වීඩියෝපටය ගැන අදහස් මතු වූ අතර බලධාරීන් ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශයෙන් විමසීමක් ද කර ඇත. එහෙත් එම වීඩියෝපටයේ පෙනී සිටින කාන්තාව ප්‍රභාකරන්ගේ දියණිය නොවන බවත් එම වීඩියෝව ව්‍යාජ එකක් බවටත් එහිදී අනාවරණය වී ඇත.

ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදුණු 27 ව දා පවත්වන මහවිරු දිනය නිමිත්තෙන් පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ මෙම වීඩියෝපටය නිකුත් කර ඇතැයි බුද්ධි අංශ වාර්තා කර තිබුණේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතා ම වැදගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝපටය මුලින් ම පළ කර ඇත්තේ දෙමළ ආලෝකය (TAMIL OLI) නමැති වෙබ් අඩවියකිනි.

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර සිටින බව කියමින් කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් නිපද වූ මෙවන් වීඩියෝපටයක් ලොව පුරා බෙදාහැරීමට සූදානම් වන බව විදෙස් බුද්ධි අංශ මගින් වාර්තා කර තිබිණි.

නොවැම්බර් මස 27 දිනට යෙදෙන මහවිරු දිනය දා මෙය ප්‍රදර්ශනය කරමින් නෝර්වේ පිහිටි අන්තර්ජාතික එල්.ටී.ටී.ඊ. ජාලය මඟින් විදේශ රටවල අරමුදල් රැස් කිරීමට සැලසුම් කර ඇති බවට ද බුද්ධි අංශවලට හෙළි වී ඇතැයි වාර්තා විය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව කියමින් සකස් කළ වීඩියෝවක් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණේ ය.

සුදු පැහැති ඇඳුමකින් සැරසුණු කාන්තාවක උතුර- නැගෙනහිර පළාත්වල සංචාරය කරන දර්ශන ඇතුළත් එම වීඩියෝව භාවිත කරමින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විශාල ලෙස මුදල් උපයා තිබිණි. එල්.ටී.ටී.ඊ.ය විදේශ රටවල සිට පණගැන්වීමට මෙවන් උත්සහයන් කිහිපයක් ගත් නමුත් ඒවා ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ සමත් විය.

Social Sharing
නවතම පුවත්