අනුරාධපුර මහ නගර සභාව ව්‍යපාරිකයින්ව ගසාකෑමට සැරසෙයි

අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව ආසන්නයේ දශක අටකට (වසරඅසූවක්) වැඩි කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එන ව්‍යපාරික ස්ථාන වලට අනුරාධපුර මහ නගර සභාව විසින් කඩ කුලි ලෙස එක්වරම රුපියල් ලක්ෂයකට වැඩි  මුදලක් ගෙවන ලෙසට දැනුම් දීමට විරෝධය පළ කරමින් ඊයේ (7දා) උදෑසන වෙළදසැල් හිමියන් විරෝධතාවක් පවත්වා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

ව්‍යපාරික ස්ථාන 13ක් සදහා වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයකට වැඩි කුලී මුදලක් ගෙවන ලෙස අනුරාධපුර මහ නගර සභාව දැනුම් දි ඇති බවත් එය නොගෙවන්නේ නම් ව්‍යපාරික ස්ථාන වලින් එළියට ඇද දමා එම දේපල නගර සභාවට පවරා ගන්නා බවට නගර සභාවට දැනුම් දුන් බව එම වෙළදසැල් හිමියන් පැවසූහ.

එම ස්ථානයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කල පාරම්පරික වෙළදසැල්හිමියකු වන ඒ.උපුල් පාලාල් මහතා.වර්ෂ1961 සිට 68 දක්වා වරිපණම් ගෙවපු බිල්පත් අපි ළඟ තිබෙනවා.දැනට මම පවත්වා ගෙන යන තේ කඩය 1976 දී අපේ තාත්තා ලියාපදිංචි කරපු සහතික පත් අපි ලග තියෙනවා.මම ඉපදුනේ මෙතන.මට දැන්  වයස අවුරුදු පනස් දෙකක් වෙනවා.ජනාධිපතිවරයා සෞභාග්‍ය දැක්ම වැඩ සටහන පටන් ගන්න කොටම අනුරාධපුර නගර සභාව කඩවලින් ඉවත් වෙන්න කියලා ලියුම් ඇලෙව්වා.

වසර අනූවකට වැඩි කාලයක් පරම්පරාවෙන් හිටපු කඩවල අයිතිය අපට නැතුව කොහොමද නගර සභාවට අයිති වෙන්නේ? පසු ගියදා ජනාධිපතිතුමා කැබිතිගොල්ලෑවේ පුද්ගලයකුට වසර හතළිහක් ජීවත් වෙච්ච භූමියේ අයිතිය එම පුද්ගලයා ලබා දෙන්න කියලා කිව්වා.

නගරාධිපතිවරයා අනුරාධපුරයට එන්නෙ පොලිසියේ කොස්තාපල් රැකියාවක් සඳහායි.ඒ එන කොටත් මේ කඩ පෙළ මෙතනම තමයි තිබුණේ.අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලයි. අපේ ඉල්ලීම් ඉෂ්ට කරන තෙක් මම මෙතන නොකා නොබී මගේ අපේ භූමියේ අයිතිය වෙනුවෙන් ජීවිතය පුඡා කරන්න සූදානම්.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන තුළින් තමයි කිව්වේ ජනතාවට ඔවුන් හිටපු තැන් වල අයිතිය දෙන්න කියලඅනුරාධපුර නගර සභාව එම සෞභාග්‍ය දැක්ම වැඩ පිළිවෙළ විනාශ කරගෙන යමින් සිටිනවා.

මම මේ ස්ථානවල පොදුජන පෙරමුණේ පක්ෂ  කාර්යාල දාගෙන මේ අයව දිනවන්න කටයුතු කළා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන්  තුන් වතාවක් කාර්යාල දාලා මගේ පුද්ගලික ධනය වියදම් කරල තමයි දේශපාලනය කළේ.ඒ පිළිබඳව ජයන්ති පන්සලේ නායක හාමුදුරුවෝ හොඳට දන්නවා.

අපි අලුතෙන් ඉඩම් ඉල්ලන්නේ නැහැ.අපි ඉන්න භූමියට ඔප්පුවක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ.අපි දේශපාලනය කළේ අපේක්ෂක කම් බලාගෙන නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක් වෙන කම් දුරදිග ගෙනි යන්නේ නැතුව අපිට භූමියේ අයිතිය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.

ලක්ෂයකට වැඩි මුදල් ගෙවන්න නම් ගොඩනැගිලි අපිට හදලා දුන්නේ නගර සභාවද කියලා අපි අහනවා.1961 එකේ ගෙවපු වරිපනම් වල රිසිට්පත් අපි ළඟ තිබෙනවා.ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් අනුරාධපුර මහ නගර සභාවේවත් දැන් නැහැ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ  නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.මෙම කඩ කුලී එක පාරටම ගෙවන්න කියලා කියපු එකක් නෙමෙයි.මේ අය කලින් කඩ කුලී ගෙවලා තිබෙනවා.දැන් වසර තුනක් තිස්සේ ගෙවල නැහැ.ලිඛිත දැනුවත් කිරීම පස් වතාවක් පමණ කරලා තිබෙනවා.

ව්‍යපාරිකයන්ට දුරකථනයෙන් දහ වතාවකට වඩා කතා කරලා තිබෙනවා මුදල් ගෙන්න කියලා.අවසාන නිවේදනය තමයි ස්ථානය වල අලවා තිබෙන්නේ.මීට පෙර හිටපු කොමසාරිස්වරයාත් ලිපි යවලා තිබෙනවා.

මේ වෙළඳසැල් හිමියන් විසින් නගර සභාවේ කඩ කුලී තක්සේරුව පිළිගන්න බැහැ කියලා රජයේ තක්සේරුවක්  කරන්න කිව්වා. පසුව රජයේ තක්සේරුවක් කරලා ඒ අනුව තමයි  ගෙවීමට ඇති මුදල දැනුම්දී තිබෙන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

Social Sharing
නවතම