මෙය මැතිවරණ අයවැයක්ද?

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මෙම රු. බිලියන 450 ඉවත් කළ විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ද. දේ. නි. යෙන් 0.8% ක් වන අතර එය මූල්‍ය අරමුදලේ ඉලක්කය සමඟ සමපාත වේ.

මෙම අයවැය සම්බන්ධව බොහෝ විවේචන එල්ල වෙමින් තිබේ. මෙය මැතිවරණ අයවැයක් බවද දිගින් දිගටම කෙරෙන ණය ගැනීම් වලින් සමන්විත අයවැයක් බවද මෙහි ඇත්තේ විකිණීම, බදු ගැසීම සහ ණය  ගැනීම  පමණක් බවද ප්‍රකාශ වේ.

අයවැයේ සාරාංශය ගෙන බලන විට පෙනීයන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව සකසන ලද අයවැයක් බවය. මෙහි දක්වා ඇති පළමුවන වගුවේ තොරතුරු ගත්තේ අයවැය කතාවේ ඇමුණුම I සහ ඇමුණුම  II හි ඇති තොරතුරු අනුවය. මෙම සංඛ්‍යා වල සුළු පරස්පරතාවක් තිබේ.

වගුව අනුව සමස්ත ආදායම රු. බිලියන 4,164  ක් වන අතර පොලී ගෙවීම් හැර මුළු වියදම රු. බිලියන  4,358කි. මෙම සංඛ්‍යා දෙකෙහි වෙනස හෙවත් ප්‍රාථමික ගිණුමේ හිඟ  ශේෂය රු. බිලියන   194 කි. මුල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2024 දී ප්‍රාථමික ගිණුමේ ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8% ක අතිරික්තයක් විය යුතුය. එනමුත් මෙම අගය ද.දේ.නි.යෙන් 0.6% ක හිඟයකි. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මෙම රු. බිලියන 450 ඉවත් කළ විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ද. දේ. නි. යෙන් 0.8% ක් වන අතර එය මූල්‍ය අරමුදලේ ඉලක්කය සමඟ සමපාත වේ.

රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය රනිල් වික්‍රමසිංහ මෙවර  මුදල් ඇමති වී ඉදිරිපත් කළ 2022 අතුරු අයවැයේ ද සඳහන් විය. එය මූල්‍ය අරමුදල සමඟ එකඟවූ  කොන්දේසිවල ද ඇතුළත්ය. ඔහු විසින් අතුරු අයවැයෙන් යෝජනා කළේ රාජ්‍ය බැංකුවල කොටස් වලින් 20% ක් බැංකුවල සේවකයන්ට සහ තැන්පත් කරුවන්ට ලබා දෙන බවයි.  රාජ්‍ය මුදල් වලින් කොටසක් ප්‍රති ප්‍රාග්ධනීකරණයට යොදවා ඉන් පසුව බැංකු වල කොටස් වලින් 20% ක් පුද්ගලීකරණය කිරීමට බලාපොරොත්තු වන බව පෙනෙන්නට තිබේ. එය පැහැදිලි නැත. . රක්ෂණ සංස්ථාව සහ අර්ථසාධක අරමුදල වැනි ආයතන හරහා රජය විසින් සතුකර ගෙන තිබෙන වාණිජ බැංකු කොටස් විකිණීමෙන් ලැබෙන මුදලින් රාජ්‍ය බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණයට දායක විය හැක. එසේ නැතිනම් මෙම රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඒවායේ කොටස් වලින් 20% කොටස් වෙළෙඳ පොළේ විකිණිය හැක.

ආණ්ඩුව එසේ කිරීම පමා කරන්නේ මෙරට ජනතා චින්තනය වන ඊනියා රාජ්‍ය සම්පත් රජය වෙතම තබාගෙන සිටීමට අනුගත වීමක් ලෙසය. ජනතාව මෙම රාජ්‍ය සම්පත් කෙරෙහි සිය බලය පැතිරවීමට දේශපාලනඥයන්ගේ ඇති කැමැත්ත වටහා ගෙන නොමැත. මෙම ඊනියා ජනතා චින්තනය විසින් කරනු ලබන්නේ දේශපාලනඥයන්ට සොරකම් කිරීමට අවස්ථා විවර කරවා දූෂිත වී ඇති රාජ්‍ය සේවයේ ද සමස්ත සමාජයේ ද වරද නැවත දේශපාලනඥයන් පිට පැටවීමයි.

එයට අමතරව රාජ්‍ය බැංකුවලට මේ තත්ත්වයට වැටීමට සිදුවූයේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගම, විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවල ණය නිසාය. ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව අයවැය කථාවේ සඳහන් කර ඇත. විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වූයේ අකාර්යක්ෂමතාවන්ට අමතරව ඒවායේ නිෂ්පාදන, නිෂ්පාදන මිලට වඩා අඩුවෙන් ජනතාවට විකිනීමට සිදුවූ නිසාය. ගුවන්  සමාගමේ පාඩුවලට තනිකරම වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි.  මක්නිසාද යත් පුද්ගලීකරණය කර තිබූ ගුවන් සමාගම පුද්ගලික අභිමතාර්ථයන් සඳහා නැවත රජයට පවරා ගැනීමට කටයුතු කළ බැවිනි. ඒ අර්ථයෙන් ඔහු ආර්ථික ඝාතකයෙකි. රනිල් වික්‍රමසිංහද මෙවර අගමැතිවූ සැණින් ජාතිය අමතා කථා කරමින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන බව කියා සිටියේය. ඔහු සහ මේ සඳහා ඔහු විසින් පත් කල කොමිසම තවමත් මන්දගාමීය. වර්ෂ 2022දී අලාභ ලැබූ රාජ්‍ය ව්‍යවසාය  13 සමස්ත අලාභය රු. බිලියන 1029 කි. ඉන් බිලියන 1023 ක් එනම් 99.3% ක් විදුලි බල මණ්ඩලයේ , ඛනිජ තෙල් සංස්ථාවේ  සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අලාභය.

වගුවේ ඇති අනෙක් කරුණු වලට අනුව අයවැය හිඟය රු. බිලියන 2,845 කි. අයවැය හිඟය යනු රජයේ මුළු අදායමෙන් පොලී ගෙවීම ඇතුළුව මුළු වියදම අඩු කිරීමෙන් ලැබෙන ශේෂයයි. මෙය ද.දේ.නි. යෙන් 9.1% ක හිඟයකි. ඉහත දැක්වූ බැංකු  ප්‍රති ප්‍රාග්ධනීකරණය ඉවත් කළ හොත් අයවැය හිඟය ද.දේ.නි.යෙන් 7.6% කි, මෙම අගය වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව  8.5%කි. වර්ෂ 2022 දී 10.2%කි. මේඅනුව අයවැය හිඟය අනුක්‍රමයෙන් අඩුවෙමින් යයි.

අයවැයේ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව රු. බිලියන 7,350 කි. එයින් රු. බිලියන 6,919 ක් එනම් ගන්නා ණයෙන් 94% ක් වැය වන්නේ ගත්  ණයවල පොලී සහ වාරික ගෙවීමටයි. එබැවින් මේ ණය ගැනීමට විරුද්ධව මත පළ කරන්නන්ගේ මත හිස් ප්‍රලාප බවට පත්වේ.

එබැවින් අයවැය සංඛ්‍යා ලේඛන අනුව මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි වලට අනුගතය. ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ.

මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව වර්ෂ 2023දී රු. බිලියන  2,949 ක් විය යුතු බදු ආදායම රු. බිලියන 2,596 කි. මේ අනුව 2023 වසරේ බදු ආදායමේ රු. බිලියන 353 ක හිඟයක් පවතී.   මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි අනුව 2024 දී VAT බද්ද වැඩි කිරීමක් නැත. එකඟ වී තිබුණේ VAT බද්ද පුළුල් කිරීම සහ SVAT ක්‍රමය නැති කිරීමයි. SVAT යනු අපනයන ව්‍යාපාරිකයන්ට භාණ්ඩ සපයන ව්‍යාපාරිකයන් එම ගනුදෙනු සඳහා VAT බද්දෙන් නිදහස් කිරීමයි. අපනයන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත ආණ්ඩුව ලබන වසරේදී SVAT ඉවත් නොකරනු ඇත. මේ අනුව බදු ආදායම් වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් VAT බද්ද ලබන ජනවාරි සිට 15%  සිට  18% දක්වා 3%කින් වැඩිකර ඇත.

ආණ්ඩුවේ අයවැය ඇස්තමේන්තු අනුව VAT බද්දෙන් වර්ෂ 2024 ලැබෙන ආදායම රු. බිලියන 2,235කි. වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම මුදල රු. බිලියන  1,376කි. මේ අනුව 2024 දී රු. බිලියන  859 ක අමතර මුදලක් VAT මගින් ලැබේ. ආදායම් බදු වෙනුවෙන් නොගෙවන්නන් හඹා යාමටත් අමතර බදු ලිපිගොනු විවෘත කිරීමටත් වඩා මෙය පහසු කටයුත්තකි. ජනාධිපති වරයා විසින් ඉදිරිපත් කරන ලද  අයවැය යෝජනා 50 ට වියදම් වන මුළු මුදල රු. බිලියන 212කි. රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමට වියදම වන්නේ රු. බිලියන 133 කි. වෙනත් වැඩිහිටි, අබාධිත සහ වකුගඩු රෝගීන්ට ගෙවන මුදල ඇතුළු අස්වැසුම සඳහා තුන් ගුණයකින් වැඩිවූ මුදල රු. බිලියන 205 කි. VAT බද්ද වැඩි කිරීමෙන් මේ සියල්ල පියවා ගත හැකි මුදලක් ලැබෙතැයි රජය ඇස්තමේන්තු කරයි. රජයේ ආදායම් ඉලක්ක පිළිගැනීමට අපහසු බව ෆිච් රේටින්ග්ස් ආයතනය දැනටමත් නිවේදනය කර තිබේ.

වඩාත් අපහසු බදු පදනම පුළුල් කිරීමේ කාර්ය භාරයට අතිරික්ත රජයේ සේවකයන් යොදවා හෝ අත ‍ගැසිය යුතුය. වර්ෂ 2024 ඇස්තමේන්තු අනුව මුළු බදු ආදායමෙන් ඍජු බදු හෙවත් ආදායම් බදුවලින් ලැබෙන ප්‍රතිශතය 28% කි. වර්ෂ 2023 සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙය  33% කි. වර්ෂ  2022 දී මෙය 30%කි. මෙම ප්‍රතිශතය ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ප්‍රයෝගික වශයෙන්ද වැඩි කිරීම බදු ආදායම වැඩි කිරීම සඳහා වන  රජයේ ක්‍රියා මාර්ගය විය යුතුය.

සමස්තයක් වශයෙන් අයවැය මැතිවරණයක් ඉලක්ක කරගත් බවට සාධක නොමැත. මක්නිසාද යත් පෙර මැතිවරණ වර්ෂ වල මෙන් ජනතාවට සහන දීම සඳහා මුදල් ණයට ගෙන නොමැති අතර සහන දී ඇත්තේ ජනතාවගෙන්ම අය කර ගන්නා VAT බද්ද මගින් වීමයි. මෙය මැතිවරණයක් ඉලක්ක කර ගත්තේ නම් රජයට මැතිවරණයේදී වැඩි කල VAT බද්ද වෙනුවෙන් ජනතාවට උත්තර බැඳීමට සිදුවනු ඇත.

හර්ෂ ගුණසේන

 

 

 

 

 

 

 

Social Sharing
ආර්ථික නවතම පුවත්