නව සේද මාවත කියන්නේ ලෝකයම එක් කරන එක වහලක්…

පසුගියදා චීනයේ බීජිං නුවර මහජන මහ ශාලාවේදී පැවැත්වුණු අභිමානවත් සැමරුමට ශ්‍රී ලංකාවට ද ආරාධනා ලැබිණි. එයට අපට සම්බන්ධ වීමට හැකි වීම මහත් ප්‍රශංසනීය කටයුත්තකි. එවන් සන්දර්භයක් තුළ ලෝක ආර්ථික, සාමාජික, භූ දේශපාලනික සිතියමේ අපේ රටට හිමි තැන, ඉන් රටට අත්වන බලපෑම්, වාසි අවාසි ජනතාවට හිමි කර ගත හැකි, හිමි වන්නා වූ ප්‍රතිලාභ ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති හා කෑගල්ල පරගම්මන සණස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියන් සමඟ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.

පසුගිය ඔක්තෝබර් 17 හා 18 යන දින චීනයේ බීජිං නුවර පැවැත්වුණු අභිමානවත් සැමරුම අපට විශේෂ වන්නේ කෙසේද?

මේ ඔක්තෝබර් 17 හා 18 දෙදින චීනයේ විශේෂ අභිමානවත් සැමරුමක් පැවැත්වුණා. ඒ තමයි, චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නායකත්වයෙන් මීට වසර දශකයට පෙර ඇරඹි ‘එක් තීරයක්, එක් මාවතක්’ වැඩපිළිවෙළේ දස වසරක සැමරුම. මේ සඳහා චීන ජනාධිපතිවරයාගේ ආරාධනාවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් මහතායි. මීට අමතරව අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රටවල් 20ක පමණ රාජ්‍ය නායකයින් සහ රටවල් 130ක පමණ නියෝජිතයින් ද චීනයේ බීජිං නුවර මහජන මහ ශාලාවේදී පැවැත්වුණු ඒ අභිමානවත් උත්සවයට සහභාගි වුණා. එය අපිට විශාල බලපෑමක් කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ උත්සවයක්. ඒ වගේම සමුළුවක්. ඒ නිසා තමයි එය අපට සුවිශේෂී වන්නේ.

එක් තීරයක්, එක් මාවතක් කියා අලුතින් ආරම්භ කළත්, මේ වැඩපිළිවෙළ පැරණි සේද මාවතේම ගමන් කිරීමක් නේද?

ඔව්! මාර්ග කිහිපයකින් සමන්විත වූ පැරැණි සේද මාවතේ වෙළෙඳ ජාලයන්හි බොහෝ පුද්ගලයින් සහ ස්ථාන සම්බන්ධ වුණා. දකුණු ආසියාවේ නැඟෙනහිර ඉන්දීය කොදෙව්වේ කුළුබඩු, රෝමයේ වීදුරු, පබළු, සේද, ඉඟුරු සහ චීනයේ ලැකර්, කොකේසියානු සතුන්ගෙන් ගත් ලොම් සහ බොහෝ ස්ථානවල වහලුන්ද සේද මාවත ඔස්සේ හුවමාරු වුණා. ශ්‍රී ලංකාවේ කුරුඳු හා අනෙකුත් කුළුබඩු සේද මාවත හරහා ගමන් කළා. එවැනි හුවමාරු මාර්ගයක් ලෙස පැවති සේද මාවත වර්තමානයේ විශාල දියුණුවක් අපේක්ෂාවෙන් පසු වෙනවා.

සේද මාවතේ ඔස්සේ හුවමාරු වුණේ භාණ්ඩ පමණක් ද?

ඇත්තටම එදා පටන්ම සේද මාවතේ භාණ්ඩ පමණක් නොව ගෘහ නිර්මාණ ශිල්පය, සහ සිතුවම්, නාට්‍ය ප්‍රසංග, නැටුම් සහ සංගීත කලාව ඇතුළු සංස්කෘතික හුවමාරුවක් ද සිදු වුණා. මහා සේද මාවත ඊට අමතරව ආගම් ප්‍රචලිත කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළා. බුද්ධාගම ඉන්දියාවේ සිට උතුරු – නැඟෙනහිර ආසියාව, මොංගෝලියාව සහ චීනය දක්වා ව්‍යාප්ත වීමට මේ මාර්ගය ඉවහල් වුණා. ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ආගම ව්‍යාප්ත වුණා. මේවාට ආගම්වල ආභාසය ලැබූ වන්දනාකරුවන්, හමුදා කණ්ඩායම් ද දායක වුණා.

පැරණි සේද මාවතේ ඇති ඓතිහාසික බව ගැන තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

පැරැණි සේද මාවත වසර 1400 (ක්‍රි.ව. 130 – 1453)ක් පමණ හොඳින් නැඟෙනහිර හා බටහිර ශිෂ්ටාචාර සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වුණා. එය පසුව ඔටෝමාන් අධිරාජ්‍යය (1299 – 1923) නැඟීමත් සමඟ පැනවූ බාධාවන් නිසා අභාවයට ගියා. එවන් අභාවයකට ගිය වැඩපිළිවෙළක් නැවත ආරම්භ කළ යුතුව තිබුණා.

එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළ ආරම්භ වන්නේ ඒ හිඩැස පුරවාලන්නටද?

ඔව්! චීනයේ වත්මන් ජනාධිපතිවරයා මීට මුලපුරනවා. එතුමා 2013 දී එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළ (OBOR / IBIR) ලෙස චීනයේ හැඳින්වෙන මේ වැඩපිළිවෙළට මුලපුරන්නේ රටවල් 150කට අධික සංඛ්‍යාවක හා ජාත්‍යන්තර සංවිධානවල අනුදැනුම යටතේයි. මෙය ආයෝජනය සඳහා චීනය අනුගමනය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගික වැඩසටහනයි.

එය ආරම්භ කරන්නේ කොතැනින්ද?

චීනයේ වර්තමාන ජනාධිපතිවරයා, වසර 2013 දී මේ සංකල්පය කසකස්තානයේ සහ ඉන්දුනීසියාවේ කළ සංචාරවල ද එළි දක්වනවා. මේ මඟින් වරාය, බලාගාර, දුම්රිය මාර්ග, මහාමාර්ග, සහ අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීමට මුදල් ආයෝජනය කිරීමට චීනය කටයුතු කරනවා. ඔවුන් එසේ රටවල් ගණනාවක කළ ආයෝජනය ඩොලර් බිලියන ගණනාවක් වෙනවා.

මෙම එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළේ විශේෂත්වය කුමක්ද?

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබෙනවා. ඒ දෙක නම් ගොඩබිම සංරචකයයි, සමුද්‍රීය සංරචකයයි වශයෙන් දක්වන්න පුළුවන්. අප මුලින් කීවාක් මෙන් මේවා තුළ වරාය, බලාගාර, දුම්රිය මාර්ග මහාමාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන රජය ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදු කර තිබෙනවා. ලෝකයේ රටවල් 150කට වැඩි ප්‍රමාණයක මේ දේ චීනය කර තිබෙනවා. මේ හරහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීම හා ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සිදු වී තිබෙනවා.

ඇතැම් දෙනා මෙය බලවත් චීනය විසින් දුර්වල රාජ්‍යයන් යටත් කර ගැනීමක් ලෙස ද දක්වා තිබෙනවා. එහි සත්‍යයක් තිබේද?

එක්වරම එයට ඍජු පිළිතුරක් දිය නොහැකියි. මෙවන් වැඩපිළිවෙළ තුළ ඕනෑම රටකට අභියෝග මෙන්ම අවස්ථා ද උදා වෙනවා. එය තීරණය කළ හැක්කේ මේ අභියෝග හා අවස්ථා ලබා ගැනීමට රටවල් ක්‍රියා කරන ආකාරය මතයි. සෑමවිටම චීනයට පමණක් වාසිම අත්වන්නේ නැති තැනට ලෝකයේ අනෙක් රටවලට ක්‍රියා කළ හැකියි. එහිදී අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල නායක කාරකාදීන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැක්ම හා භාවිතයෙන් ඔවුන් චීනයට වඩා තම රටවල දියුණුව හා ජාතියේ පැවැත්මත් ගැන ගැඹුරින් අවධානය යොමු කර මේ වැඩපිළිවෙළ තම තම රටවලට වාසි දක්වන ලෙස ගළපා ගැනීමයි.

නව සේද මාවතේ වැඩපිළිවෙළට ප්‍රවේශ වීමෙන් අත්කරගත හැකි සාර්ථක ප්‍රතිඵල මොනවාද?

අප මීට පෙර සඳහන් කළ පරිදි, මේ වැඩපිළිවෙළට එක්වීමෙන් ජාත්‍යන්තර වෙළෙඳාම, විදේශ ආයෝජන සහ පුද්ගල ප්‍රවාහනයන් ප්‍රවර්ධනය කර ගත හැකියි. මේ සඳහා එක්වීමෙන් ඕනෑම රටකට නව අවස්ථා උදා වනවා. අභියෝගත් එනවා. නමුත් අවසානයේ සෑම දෙනාටම එක සේ විහිදෙන ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩක් ලැබෙනවා. මෙය මුළු ලෝකයම එක් කරන එක වහලක් තැනීමක් වාගේ වැඩක්.

එක් තීරයක්, එක් මාවතක් ව්‍යාපෘතිය එක් එක් රටවලට වාසි වන ආකාරයට යාවත්කාලීන කර ක්‍රියාවට නැංවිය යුතු එකක් නේද?

අනිවාර්යයෙන්ම ඔව් ඒ සඳහා තමයි නිතරම, නිරන්තරයෙන්ම චීනය මේ ගැන සංවාද, වාද විවාද, සමුළු සම්මන්ත්‍රණ පවත්වන්නේ. ඔවුන් මුලපිරූ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වෙහෙස වෙනවා. චීන ජනාධිපති ලෝකයට කී සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට උනන්දුවෙන් වැඩ කරනවා. මේ තුළ ලෝකයේ රටවල් අතර නව සබඳතා ඇති කිරීමට, ඒවා තර්කානුකූලව සකස් කිරීමට ආර්ථික ක්‍රියාකාරකම් සාපේක්ෂ වාසි මත නැවත සැකසීමට සහ රාජ්‍යයන් තුළ බලය තුලනය කර ගැනීමට හැකි වැඩපිළිවෙළක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

අද වන විට ලෝකයේ යුද ගැටුම්, වාද විවාද රණ්ඩු සරුවල් ඇති වී තිබෙනවා. එවන් පරිසරයක මෙවැනි සුභවාදී වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකිද?

ලෝකයේ විවිධ රටවල කැලඹිලිසහගත තත්ත්වයන් මතුවී තිබෙනවා. යුද ගැටුම් පවා ඇති වී තිබෙනවා. මෙවන් අභියෝගාත්මක තත්ත්වයන් තුළ ලෝකය එකට එක් කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. වෙනස්කම්වලින් පිරුණු යුගයක අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, ජයග්‍රාහී ප්‍රතිඵල, සමෘද්ධිය, සහ සංවර්ධනය සඳහා නව උපක්‍රමික මාවතක් සකස් කර ගැනීමටයි අපි කටයුතු කළ යුත්තේ. ඒ අසීරුතා ජය ගැනීමට වසර 2013 සිට 2022 දක්වා කාලය තුළ චීනය කටයුතු කර තිබෙනවා. මේ එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළ හා සම්බන්ධ වූ ජාතීන් අතර, චීනය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 19.1ක් තරම් වූ වෙළෙඳාමක් සිදු කරගෙන තිබෙනවා. එය සාමාන්‍ය‍ෙයන් සියයට 6.4ක වාර්ෂික වර්ධන වේගයක් ළඟා කර ගැනීමක් වෙනවා.

මේ වන විට ලෝකයේ කොපමණ රටවල් ප්‍රමාණයක් මීට සම්බන්ධ වී සිටිනවාද?

දැනට චීනයේ මේ වැඩපිළිවෙළ හා ලෝකයේ රටවල් 150ක්, ජාත්‍යන්තර සංවිධාන 30කට අධික ප්‍රමාණයක් ඍජුවම මැදිහත්වී තිබෙනවා. චීනයේ සබඳතා ආසියාව, යුරෝපා මහාද්වීපයේ සිට අප්‍රිකාව හා ලතින් අමෙරිකාව දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වරායන්, හා අනෙකුත් චීන ව්‍යාපෘතීන්, ආයෝජනය කිරීම්, ජකර්තා සහ බැන්ඩුන් අතර දුම්රිය, ලාඕසයේ අධිවේගී දුම්රිය, කෙන්යාවේ, ඉතියෝපියාවේ වැනි රටවල යටිතල පහසුකම්වලට සිදු කළ ආයෝජන ඒ අතර කැපී පෙනෙනවා.

මේ වැඩපිළිවෙළේ දුර්වලතා ලෙස ඔබ දකින්නේ මොනවාද?

එක් තීරයක්, එක් මාවතක් මුහුණදෙන එක් ගැටලුවක් වන්නේ රේගු ක්‍රියා පටිපාටිවල පවතින සංකීර්ණ බවයි. ඒවා සරල කිරීම වහාම කළ යුතුයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. කොවිඩ් වැනි වසංගත මෙන්ම වෙළෙඳාමේ සහ ඊ – වාණිජයේ වේගවත් වර්ධනය වැනි කටයුතු උදෙසා ද, ප්‍රවාහනයේ හා සැපයුම් පද්ධතියේ ප්‍රධාන ගැටලු විසඳීමට මේ මඟින් යම් වැඩපිළිවෙළක් සකස් විය යුතුයි.

ශ්‍රී ලංකාව මේ වැඩපිළිවෙළ හා සහසම්බන්ධ ප්‍රධාන රටක්. අප මෙයින් උපරිම ප්‍රතිඵල රටට, ජනතාවට ලබා ගැනීමට ක්‍රියා කළ යුත්තේ කෙසේද?

අපි, නව සේද මාවතේ මුහුදු මාර්ගයේ උපක්‍රමික අතින් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටි රටක්. මේ පිහිටීමෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිඵල නෙළා ගැනීමට අපි සැබෑ ජාතික ආර්ථික දර්ශනයක් ඔස්සේ වැඩකටයුතු කළ යුතුයි. අපිට ලැබෙන ඉඩ ප්‍රස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට නිද්‍රාශීලිව, උකටලිව, කම්මැළිව නොසිට කටයුතු කළ යුතුයි. එසේ හිටියහොත් අපට සිදු වන්නේ ලැබුණු අවස්ථා අපෙන් ගිලිහී යාමයි.

එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩිදුරටත් විග්‍රහ කළ හැකිද?

අපට මේ තුළින් ඍජුවම ලබා ගත හැකි ප්‍රතිලාභ, ප්‍රයෝජන ගණනාවක් තිබෙනවා. ඒ අතුරින් ප්‍රධානම දේ තමයි අපි මුහුදු මාර්ගයේ පිහිටා තිබීම. අපේ මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නාවික යාත්‍රාවලට නාවික පහසුකම් සැපයීමට අපට පුළුවන්. ඒ තුළින් ආදායම් වැඩි කර ගත හැකියි. මේ අයට නාවික පහසුකම් සැපයීමේදී අපි කාර්යක්ෂම විය යුතුයි. ඒවා කලට වේලාවට ලබා දිය යුතුයි. අපි වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට වැඩි බරක් තබා ක්‍රියා නොකළ යුතුයි. රජය මේ වැනි පහසුකම් සපයන වැඩපිළිවෙළ දියුණු කිරීමට, ආයෝජනය කිරීමට අරමුදල් නොමැති නම්, ඉන් ඉවත් විය යුතුයි. ඒ සඳහා නව ආයෝජන කළ හැකි දේශීය / විදේශීය ආයෝජකයින්ට පහසුකම් සැලසිය යුතුයි.

රජය මෙහිදී කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියාකිරීම පමණයි. පරිපාලනයේ කටයුතු විධිමත්ව කිරීම, නිරවුල්ව බදු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම නීතිය සැමට සමාන ලෙස සිදු කිරීම රජය කළ යුතුයි.

වරායන් ආශ්‍රිතව භාණ්ඩ හුවමාරු කරන නගරවල යටිතල පහසුකම් වැඩි දියුණු කර නොනිදන නගර බවට පත් කළ යුතුයි. දවසේ පැය 24 පුරාම අවදියෙන් සිටින වරාය ආශ්‍රිත, ගුවන්තොටුපළ ආශ්‍රිත නගර, සේවා ලබා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට ඉඩකඩ සලසා දිය යුතුයි.

කොළඹ වරාය, හම්බන්තොට වරායට අමතරව ත්‍රිකුණාමලය දියුණු කළ යුතුයි. ඒවාගේම නැව්වල මෙරටට එන සංචාරකයින් ගණන වැඩි කර ගැනීමට වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ඔවුන්ට රට අභ්‍යන්තර ගුවන් ගමන් ලබා ගැනීමට ඒවායේ යටිතල පහසුකම් දියුණු කළ යුතුයි.

නවීන පහසුකම්වලින් හෙබි ආර්ථික සැකසුම් කලාප වරායන් ආශ්‍රිතව ගොඩනැඟිය යුතුයි.

කොළඹ වරායට හෝ වේවා හම්බන්තොට වරායට හෝ වේවා පැමිණෙන ඉහළ ආදායම් ලබන විදේශිකයින්ට පමණක් නොව මැදි හා පහළ ආදායම් ලබන විදේශිකයින්ටත් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකි වෙළෙඳ මධ්‍යස්ථාන තීරු බදු රහිත සාප්පු සංකීර්ණ, හෝටල් විනෝදාස්වාද ක්‍රීඩා ඉසවු ලෙස සංවිධාන කළ යුතුයි. මේවාට රජයට මුළුමනින්ම මුදල් ආයෝජනය කළ නොහැකියි. ඒවාට පෞද්ගලික අංශයට දිරි දිය යුතුයි.

විශේෂයෙන්ම අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ තුළින් නව ව්‍යවසායක ලෝකය දිනා ගන්නා තැනට රටේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතුයි. දේශපාලන අතපෙවීම් මත රැකියා ලබා දෙන ක්‍රමවේදය බැහැර කළ යුතුයි. සුදුස්සාට සුදුසු රැකියා ලබා ගැනීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

රටේ ජනතාවට වාසි ගෙන දෙන අයුරින් ඒවා කළ යුතුයි. රටේ නොනිදන නගර ජාලයක් බිහිකොට ඒවා රටේ ප්‍රවාහන පද්ධතිය හරහා සම්බන්ධ කළ යුතුයි. මේ තුළින් නාගරික අර්ධ නාගරික ග්‍රාමීය ජනතාවගේ සේවා හා නිපයුම් ජාතික සැපයුම් දාමයට එක් වේ. ඒ තුළින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවේ. ඒ මඟින් තමයි අපට චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා සම්බන්ධ වීමට හැකි වන්නේ. එය අපේ රටේ තිරසර සංවර්ධනයට මහඟු අඩිතාලමක්.

ජයසිරි මුණසිංහ

Social Sharing
ආර්ථික නවතම පුවත්