ජනපතිගේ ගුග්ලි පන්දුවට කෙසේ ගැසිය යුතුද?

2024 යනු දේශපාලනයට තීරණාත්මක අවුරුද්දක් ය. ඒ 2024 අග ජනාධිපතිවරණයක් කැඳවිය යුතු නිසා ය. 2024 වර්ෂයේ මැයි මාසය වනවිට ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය. මේ අනුව රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ එක්සත් ජාතික පක්ෂය ගණන් හදමින් සිටින්නේ ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්නට හැකිද යන්නයි. ඒ සඳහා ඔවුන් නිරන්තරව ජනමතය සමීක්ෂණ වාර්තා දෙස බලමින් නොයේක් දේවල් සිතමින් සිටියි.

ඒ අතර විදුලිය ගාස්තුව නැවත සංශෝධනය කරන්නට ආණ්ඩුවට සිදුව ඇත. ගෑස් මිලද නැවත ඉහළ ගොසින් ය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පුද්ගලික අංශයට විකිණීම පිනිස සියලු වැඩ අවසන් බව වාර්තා වෙයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපොළ සමග ලබා දෙන්නේ නම් එය මිලදී ගැනීම සඳහා චීනය සහ ඉන්දියාව යන දෙරටේම ආයෝජකයන් ඉදිරිපත්වී සිටින බව වාර්තා වෙයි.

මේ අතර කොට්ටාව මත්තල අධිවේග මාර්ගයද චීනයට දෙන්නට සිදුවෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වෙයි. මේ කිසි දෙයක් ජනාධිපති වික්‍රමසිංහ මහතාට ජනමතය, ජනතා ප්‍රසාදය පැත්තෙන් බලනවා නම් හිතකර දේවල් වන්නට පුලුවන් කමක් නැත. මේ බොහෝ දේවල් අයිඑම්එෆ් වැඩසටහන සමග ආණ්ඩුව ඉදිරියට යන්නේ නම් ලබන 2024 අවුරුද්ද මුල් කාර්තුවේදී කරන්නට තිබෙන වැඩය. ඒ අනුව එම අවුරුද්දේම ජනාධිපතිවරණයක් තිබුණෝතින් එයින් වික්‍රමසිංහ මහතාට ජය ගැනීම ලේසි නැත.

මේ සියලු තත්ත්ව සලකා බලා ජනාධිපති වික්‍රමසිංහ මහතා දේශපාලනික ගුග්ලි පන්දුවක් එල්ල කරන්නට සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ ලබන අවුරුද්දේ මුල ජනමත විචාරණයක් කැඳවීම සඳහා ය. මේ සඳහා අවශ්‍ය කරන යෝජනාව දැනටමත් සකසා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟද නැද්ද යන්න ජනමත විචාරණයක් හරහා ජනතාවගෙන් අසනු ඇත. එයට ජනතාව සිය කැමැත්ත පළ කළහොත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වර්තමාන පාර්ලිමේන්තුවට ගෙනඑනු ඇත. එම සංශෝධනයේ එන අන්තර්කාලීන විදිවිධාන හරහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත.

වර්තමාන ජනාධිපති ධුර කාලය එලබෙන 2024 වර්ෂයේ නොවැම්බර් දක්වා පමණක් වුණත් ඊට මාස 06කට ප්‍රථම මැතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙයි. එනිසා මෙම කාලයට ප්‍රථම ජනමත විචාරණයක් කැඳවනවා නම් එය කැඳවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවට 2025 ඔක්තෝම්බරය දක්වා බලයේ සිටිය හැකිය. ඒ අනුව මෙම ක්‍රමයට දේවල් සිදුවුණ හොත් අඩුම තරමින් තවත් අවුරුද්දක් ජනාධිපති වික්‍රමසිංහ මහතාට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ හැකිය.

ඡන්දයකට ගොස් පරාජයට පත්වෙනවාට වඩා මෙම ක්‍රමය හොඳ යැයි ඔහු සිතනවා වන්නට බැරි නැත. අනෙක් පැත්තෙන් මේ හරහා ඔහුට විශාල ජනතා ප්‍රසාදයක් ලබාගන්නටත් පුලුවන් වනු ඇත. ඒ අනුව එම ප්‍රසාදය භාවිතා කරමින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුට සන්ධානයක් හරහා ඉදිරිපත්වී ජයග්‍රහනය කරන්නටත් පුලුවන් වෙනු ඇත. ඒ මන්ද ජනමත විචාරණයේදී විධායකය අහෝසි කළ යුතුයි යන මතයේ සිටින සියල්ලෝටම වික්‍රමසිංහ මහතාගේ කුඩය යටට පැමිණීමට සිදුවෙන නිසා ය. අනෙක් පැත්තෙන් මේ හරහා රනිල් වික්‍රමසිංහ මහතාට අලුත් දේශපාලන පෙරමුණක් නිර්මානය කරගන්නටද අවස්ථාව උදාවෙනු ඇත.

අනෙක් පැත්තෙන් ඔහු තවත් උපාය මාර්ගයක් මේ වනවිට ක්‍රියාවේ යොදවා ඇත. ඒ අනුව කීර්තිමත් අගවිනිසුරුවරයෙක් සේ ජනතා ප්‍රසාදයට පත් පියසාත් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් යුක්ත ජනාධිපති කොමිසමක් පත් කර ඇත. ඒ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා ය. මෙම කොමිසමට ජනධිපතිවරයා බලය ලබාදී තිබෙන්නේ ‘මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සමානුපාතික යෝජනා ක්‍රමයට පමණක් සීමා නොවී සමාජයේ බහුත්ව ස්වරූපය සැලකිල්ලට ගෙන එම බහුත්ව ලක්ෂණ ද නියෝජනය වෙන පරිදි කේවල ක්‍රමයද සමඟ සම්මිශ්‍රණය වූ සුදුසු ක්‍රමයක් සකස් කිරීම සඳහා ය.

මෙම කටයුත්ත සඳහා ඩෙප් මහතාට සහ ඔහුගේ කණ්ඩායමට ජනාධිපතිවරයා මාස 06ක කාලයක් ලබාදී ඇත. ඒ අනුව 2024 වර්ෂයේ අප්‍රේල් මාසය පමණ වනවිට එය අවසන් වන්නට පුලුවන් ය. සමහරවිට මේ කියන කාර්‍යය සඳහා අවුරුද්දක් පමණ ගතවෙන්නටත් පුලුවන් ය. ඒ අනුව ජනාධිපති වික්‍රමසිංහ මහතාට විධායකය අහෝසිකර එලබෙන 2024 නොවැම්බර් වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට හැකිවුණොත් විධායක අගමැති ලෙස ඔහුට මෙම මැතිවරණ සංශෝධන ක්‍රියාවලිය පෙන්වා, මෙම පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කරගැනීම අසීරු නොවෙනු ඇත. ඒ අනුව මේ ක්‍රමය සාර්ථක වුණොත් පළමු වටයේදී වික්‍රමසිංහ මහතාට තවත් අවුරුදු දෙකක් ලංකාවේ රාජ්‍ය නායකයා සේ කටයුතු කරන්නට හැකිවෙනු ඇත.

මේ සියල්ල දෙස බලන විට පෙනෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගුග්ලි පන්දුවක් එල්ල කරන්නට සැරසෙන බවය. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මෙන්ම නැඟීගෙන එන ජාතික ජන බලවේගය මෙම පන්දුව ඉදිරියේ කෙසේ බැට් කරනු ඇත්ද? ඒ අනුව 2024 වර්ෂයෙහි දේශපාලන අනාගතය මෙන්ම රටේ අනාගතය තීරණය වෙනු ඇත.

-කේ. සංජීව-

Social Sharing
ආර්ථික නවතම පුවත්