ප්‍රශ්න අමතක කරන දේශපාලනය අපි දැන් නවත්වන්න ඕනෑ!

ඉතිහාසය පුරාම බොහෝ පිරිසක් ප්‍රශ්න අමතක කරන දේශපාලනයක නිරතව සිටි නමුත් ප්‍රශ්න අමතක කරන දේශපාලනය මෙතැන් සිට හෝ නතර කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මේ රටේ ජනතාව තවදුරටත් යම් යම් කාරණා ඉවසන්නේ නැතැයි පෙන්වා දෙන ඒ මහතා එය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොඳින් අවබෝධ කරගෙන තිබෙන බව ද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

“මම ගුරු භූමිකාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් තාම ගුරුවරයෙක් විදිහට වැඩ කරන නිසා අද ජාත්‍යන්තර ගුරුවරුන් සමරන දිනය හේතුවෙන් අපට ගුරුවරු වෙච්චි, අපට ගුරුවරු නොවෙච්චි සියලුම ගුරුවරුන්ට වාසනාවන්ත ගුරු උපහාර දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දැන් අලුතින් එකතු වෙච්ච දෙයක් තමයි online education කියන එක. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් සම්බන්ධයක් තිබෙනවා. අපේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ධම්මික පෙරේරා මහතාත් එම මහත්මියත් එකතු වෙලා කරගෙන යන DP Education එක චීනය, ඉන්දියාව, කොරියාව, සිංගප්පූරුව වැනි තාක්ෂණයෙන් ඉහළ රටවල් පරයා ආසියාවේ හොඳම online Learning platform එක බවට පත්වී තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අතිශයින් සතුටට පත්වෙනවා මේ DP Education ව්‍යාපෘතිය රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙලා මේ අපි ඉගෙන ගන්න ක්‍රමයේ විශාල පරිවර්තනයක් කර තිබෙනවා.

තව මාසයකට ආසන්න කාලයක දී අයවැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. මිනිස්සු විශාල බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා රටක් දියුණු වෙන්න ඕනෑ නම් වැඩිවෙන්න ඕනෑ බදු මුදල් උත්පාදනය කරන රැකියා. එහෙම නැතිව තවදුරටත් බදු මුදල්වලින් යැපෙන රැකියා නොවේ රටේ නිර්මාණය වෙන්න ඕනෑ. මෙතෙක් කාලයක් උපාධිධාරීන්ට, සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත් පිරිසටත් කිසිම සුදුසුකමක් නැති පිරිසටත් ආණ්ඩුවට සිදු වුණා රැකියා සපයන්න. පසු කලෙක ඔවුන් වෘත්තීය සමිති හදාගෙන විවිධ ඉල්ලීම් කරනවා. මේ හුඟක් රැකියා සැපයුවේ සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදල්වලින් පඩි ගෙවලා. රාජ්‍ය ව්‍යවසායත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ ආයෝජන. තවදුරටත් මේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වෙන්න තියෙන ඉඩකඩ සීමාවෙලා තිබෙනවා. ඒ නිසා තමයි කරළියට ඇවිත් තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසායේ ප්‍රතිසංස්කරණය ගැන සහ පෞද්ගලිකරණය ගැන කතාබහක්.

ඉදිරි අයවැයෙන් විසඳාගන්න තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ දුප්පත්කමත් වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම ජනගහනයෙන් 1/3 විතර පීඩාවට පත්වී තිබෙනවා මේ දුප්පත්කමින්. ආදායම් ධන ව්‍යාප්ති විෂමතාවයේත් ලොකු ගැටලු තිබෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න අමතක කරන දේශපාලනය දැන් නවත්තන්න ඕනෑ. ඉතිහාසය පුරාම අපි ප්‍රශ්න අමතක කරන දේශපාලනයක තමයි නිරතවී තිබෙන්නේ. හැබැයි මේ රටේ මහජනතාව තවදුරටත් මේ වගේ දේවල් ඉවසන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදිහට හොඳට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපි අයෝජකයන් කැඳවා ගැනීමේ උපායමාර්ගය කුමක් ද කියා අයවැය අවස්ථාවේවත් හෙළි කරන්න ඕනෑ. අපි වරාය නගරය විවෘත කර තිබෙනවා. නමුත් අපට පේනවා එහෙම ලොකු බලාපොරොත්තුවක් අපට තියාගන්න බැරිවී තිබෙනවා.

ඒ නිසා රටේ රැකියා උත්පාදනය කරන්න අපි සාම්ප්‍රදායිකව අනුගමනය කරපු බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් පඩි ගෙවලා රැකියා බිහි කරන සංස්කෘතියකට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා එන අය වැයේ දී පෞද්ගලික අංශය විදේශ සෘජු ආයෝජන රටේ ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වන ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් කරන්න අවශ්‍ය රාජ්‍ය නොවන අංශ රැකියා උත්පාදනය කරන්න හැකිවන ආකාරයේ ව්‍යාපාර පරිසරයක් රටේ නිර්මාණය කිරීමයි. අපි බලාපොරොත්තු වෙනවා ආර්ථිකය හැකිළ වන්නේ නැති ආර්ථිකයේ ආයෝජකයෝ දිරිමත් වන පාරිභෝගිකයෝ වෙළෙඳපොළට පැමිණෙන ආර්ථික පරිසරයක් නිර්මාණය කරන්න. මේ පෞද්ගලිකරණය හුදු රාජ්‍ය ව්‍යවසාය වෙන අතකට යොමුකරන ක්‍රියාවලියක් නොවිය යුතුයි. ඊට වඩා ටිකක් පුළුල්, ඊට වඩා ටිකක් ප්‍රතිඵලදායි එකක් වෙන්න ඕනෑ. අපි මේ පෞද්ගලීකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයට විරුද්ධ පිරිස නොවේ.

නමුත් අපි මෙය ටිකක් ප්‍රවේසමෙන් කළයුතු වෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ පාක්ෂිකයෝ දැනුම්වත් කරන එක ගම් නියම් ගම් මට්ටමින් සිදු කරගෙන යනවා. අපේ පක්ෂයේ ජාලය වසම් මට්ටමින් ශක්තිමත් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන පවුර අපි ක්‍රමානුකූලව ශක්තිමත් කරමින් යනවා. ඒ නිසා අපි රැලි හදනවා මිසක් රැලිවලට අහුවන දේශපාලන ව්‍යාපාරයක් නොවේ”යනුවෙන් සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

Social Sharing
නවතම පුවත්