කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!

ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට  මරණිය තර්ජන ඇති බවට ඊයේ (01)  දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.

ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස පිහිටා තිබේ. කරවල අලෙවි කරන මුවාවෙන් විශාල මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් ඉතා සුක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යන මෙම කාන්තාව හා ඇයගේ ආධාරකරුවන් ලක්මාල් බදුගේ සමඟ මුලදී විරසකයක් තිබුණේ නැත.

විරසකය ආරම්භ වුයේ ඇයගේ නිවසේ සි.සි.ටී.වී ආරක්ෂිත කැමරා පද්ධති 12 ක් සවි කරගෙන පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම පොලීසිය විසින් වැටලු අවස්ථාවේ එය මාධ්‍යට වාර්තා කිරීම නිසාය.

එමෙන්ම ලක්මාල්ගේ මව හා සහෝදරයා ජීවත් වන මහගෙදර පිහිටියේද මෙම ධීවර ගම්මානයේය. මෙම කාන්තාව ඇගේ නිවස ඉදිරිපිට ධීවරයින් මුහුදට ගමන් ගන්නා මාර්ගය හරස් කර විශාල කඩ පෙළක් ඉදිකිරීමට ගත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද නොදන්වමිනි. මෙලෙස ඇය වෙරළ තීරයේ අනවසර ඉදිකීරිම් කිහිපයක්ම සිදු කර ඇති බව පැවසේ. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිට ඇත.

මේ පිලිබඳ ලක්මාල් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම්වරයා දැනුවත් කර ඇති අතර ප්‍රාදේශිය ලේකම් විසින් මෙය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත. ඒ අනුව මාර්ගය හරස් කරමින් අනවසරයෙන් ඉදි කළ කඩ පෙළ ඉදිකිරීම අත්හිටුවා ඇත. ඒ පිලිබඳවද මෙම කාන්තාව ලක්මාල් සමඟ පසු වී ඇත්තේ දැඩි කෝපයෙනි

මේ අතර 2020 අගෝස්තු 28 වෙනි දින ලක්මාල් බදුගේ කොළඹ සිටියදි දුරකථන ඇමතුමක් ලබා දී මෙම කාන්තාව පළමුවරට බැන තර්ජනය කර ඇත. යකෝ පොලිසීයට කරවල දෙන්නේ අපි. පොලිසීය අපිට මොනවා කරන්නද කියා ඔහුට එහිදි තර්ජනාත්මකව පවසා ඇත.

මේ අතර පෙරේදා (30) රාත්‍රියේ ඇය හා ඇගේ ආධාරකරුවන් පිරිසක් ලක්මාල් බදුගේගේ මහගෙදර වෙත ගොස් ඔහුගේ මවට සහ සහෝදරයාට පහර දී ඇත. එහිදී ගම්වාසීන් විසින් ඔවුන් දෙදෙනාව රෝහල් ගත කර තිබේ.

මෙය සැල වූ වහාම ලක්මාල් ඊයේ දින ත්‍රිකුණාමලය වෙත ගොස් මේ පිලිබඳ ත්‍රිකුණාමලය පොලීසිය වෙත පැමිණිලි කර ඇත. එහිදී පොලීසිය එම පැමිණිල්ලට නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දක්වා නැත. ඔවුන් පවසා ඇත්තේ අදාල සැකකාර කාන්තාව හා ඇගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශයේ නොමැති බවය.

මෙහිදී ලක්මාල්ගේ සිද්ධිය සැල වූ සියලු මාධ්‍යවේදීන් එකට එකතුව මේ පිලිබඳ විශාල වශයෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟ කලින් ඉන්න තැනක් දන්නේ නැතැයි කී සැකකාර කාන්තාව ඇතුලු 03 ක් රාත්‍රීයේම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබුණි.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද වහා ක්‍රියාත්මක වී අද (02) දින එම ධීවර ගම්මානය ආශ්‍රිතව කළ සොයා බැලීමකදී අනවසර ඉදිකිරීම් 15 ක් හඳුනාගෙන ඇත. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හෙට (03) දිනයේ පොලිස් ස්ථානය වෙත එන ලෙස අද දින දන්වා ඇත. මේ අතර සැකකාර කාන්තාවගේ ඉදිකිරීම්ද වේ.

මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මූලස්ථානයේද අවධානය යොමුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම