ජාතික පෝෂණ තත්ත්ව ගැන අලුත්ම වාර්තාවක් නිකුත් වේ…

 

2023 ‌පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජාතික පෝෂණ මාසය 2023 සංක්ෂිප්ත පෝෂණ දත්ත එළි දැක්වීම හා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (14) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

2023 වසරේ ජාතික පෝෂණ මාසය පසුගිය ජුලි 01 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කෙරුණි. එම මාසය තුළ දී පෝෂණ තත්ත්වයන් නගා සිටුවිමටත්, ජාතික මට්ටමින් පෝෂණ තත්ත්වය පිළිබද දත්ත ලබාගැනීමත්, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන පාර්ශ්වකරුවන්ට යාවත්කාලීන දත්ත ලබාදීමත් යන අරමුණු ඇතිව ජුනි මාසය තුළ දීප ව්‍යාප්තව පෝෂණ මස ක්‍රියාකාරකම් සිදු කරන ලදි.

වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය, ගර්භනී මව්වරුන්ගේ පෝෂණ මට්ටම, පාසල් සිසුන්ගේ පෝෂණ තත්ත්වය මෙම සංක්ෂිප්ත වාර්තාවට ඇතුළත්ව ඇත. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කොට්ඨාස 6915 ක් ආවරණය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 356 කින්, ජාතික දත්ත වාර්තාකරණය ප්‍රතිශතය සියයට 100 කි.

මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන් කරුණු අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් වයස අවුරුදු 05 ට අඩු දරුවන් 1,406,213 ලියාපදිංචි කර ඇති අතර, ඒ අතරින් සියයට 96.5 ක වර්ධනය තක්ෂේරු කිරීම සිදු කර ඇත. අම්පාර සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සියයට 100 ක ආවරණ ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර, සියයට 71.8 ක අඩුම ආවරණ ප්‍රතිශතය කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් වාර්තා කර ඇත.

මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන් කරුණු අනුව අවුරුදු 05 අඩු දරුවන්ගේ උග්‍ර කෘෂ බව එනම් දිග/උසට අදාළ බර ඉතා අඩු තත්ත්වයක පැවැතීම (උග්‍ර තීව්‍ර මන්දපෝෂණය) අඩුවිමක් පෙන්නුම් කෙරෙන අතර, එ් අනුව 2022 ඔක්තෝබර් මාසය මුල දි වාර්තා වූ දරුවන් සංඛ්‍යාව (18,420  සියයට 1.4) හා සසදන කළ 2023 ජුනි මාසය තුළ දි මෙම දරුවන් 15,763 ක් (සියයට 1.2) වාර්තා වී ඇත. තව ද වයස අවුරුදු 05 අඩු දරුවන් අතර අධි බර සහ ස්ථූලත්වය වාර්තාවීම අඩු වී ඇත.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී  වයස අවුරුදු 1 ට අඩු ළදරුවන්ගේ කෘෂබව, අධිබර/ස්ථූල යන තත්ත්ව වල අඩුවීමක් පෙන්නුම් කරන බව ද ප්‍රජා  විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පෙන්වා දෙන ලදි.

වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර අඩුබර (වයසට අදාළ බර අඩුවීම) ප්‍රතිශතය සියයට 17.1 ක් ලෙස වාර්තා වී ඇති බවත්, සියයට 26.4 ඉහළම අඩුබර ප්‍රතිශතය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් මෙහිදී සදහන් කරන ලදි. එමෙන්ම 2022 වසරේ පෝෂණ දත්ත හා සැසැදීමේ දී වව්නියාව දිස්ත්‍රික්කය හැර සෙසු සියළු දිස්ත්‍රික්ක අඩුබර ප්‍රතිශතයෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, නාගරික, ග්‍රාමීය සහ වතු යන සියළු අංශවල අඩුබර තත්ත්වයේ වැඩිවීමක් පෙන්වන බව ද මෙහිදී පෙන්වා දෙන ලදි. වයස අවුරුදු 05 අඩු දරුවන්ගේ කෘෂ බවෙහි (දිග/උසට අදාළ බර අඩුවිම) ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ සියයට 10.0 ලෙස වන අතර, එය 2022 වසරේ අගයට සමාන වේ. කෘෂ බව ඉහළම ප්‍රතිශතයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙවනුවට ඉහළම ප්‍රතිශත වාර්තා කර ඇත. 2022 වසරට සාපේක්ෂව වතු,නාගරික සහ ග්‍රාමීය සියළු අංශවල කෘෂ බව වැඩිවීමක් මෙම වාර්තාව මගින් පෙන්වා ඇති අතර, නාගරික අංශයේ එම ප්‍රතිශතය සියයට 8 කි.

පසුගිය වසර හා සසදන කල්හි සියළුම දිස්ත්‍රික්කවල වයස අවුරුදු 05 අඩු දරුවන්ගේ  මිටිබව (වයසට අදාල උස/දිග නොමැතිවීම) ප්‍රතිශතයෙහි ඉහළ නැගීමක් පෙන්වන බවත්, වැඩිම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කය බවද මෙහිදී පෙන්වා දෙන ලදි.

සියළු දෙනා එක්ව සෞඛ්‍ය අභීයෝග ජයගැනීමට කටයුතු කිරීම අවශ්‍ය බවත්, පෝෂණ තත්ත්වය නගාසිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පමණක් මෙය සිදු කළ නොහැකි බවත් ද අනෙකුත් සියළු අංශවල, අමාත්‍යාංශවල සහයෝගය ද අත්‍යාවශ්‍ය බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. ආර්ථීක ගැටළු පවතින යුගයක වුව ද ‌සෞඛ්‍ය දර්ශක මෙම තත්ත්වයෙන් තබාගැනීමට හැකිවීම ජයග්‍රහණයක් බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

විටමින් සී ඖෂධය යකඩ අවශෝෂණය වැඩි කිරිම සදහා භාවිත කරන බවත්, ගර්භනී මාතාවන්ට, කිරිදෙන මව්වරුන්ට සහ පාසල් දරුවන්ට විශේෂයෙන්ම විටමින් සී පෙති පෝෂණ තත්ත්වයන් නගාසිටුවීමට ලබාදෙන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ළමා හා මාතෘ සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, ප්‍රජා  විශේෂඥ වෛද්‍යවරුන් වන කෞෂල්‍යා කස්තුරිආරච්චි, හිරණ්‍යා ජයවික්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්මිනී මාගොඩතැන්න  යන මහත්මින් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Social Sharing
නවතම පුවත්