චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.

Channel 4 easter sunday attack

-අජිත් පැරකුම් ජයසිංහ-

චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම හා එම හමුවෙන් පසු සුරේෂ් සලේ මව්ලානාට යම් අදහසක් ඉදිරිපත් කිරීමයි. එනම්, රාජපක්ෂලාට නැවත බලයට පැමිණිය හැක්කේ අර්බුදයක් නිර්මාණය කිරීමෙන් බවයි. එය දේශපාලනිකව තේරුම්ගත හැකි දෙයකි.

වර්තමානයේදී ද බොහෝ පිරිස් එම උපායමාර්ගය අනුගමනය කරමින් සිටිති. ඔවුන්ට ද අවශ්‍ය වන්නේ අර්බුදයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා මේ වන විට පාවිච්චි කරමින් තිබෙන්නේ අරගල නම් සංසිද්ධියයි. මහජනතාව නොමග යවා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගනු ලබන ඉතා වැදගත් පියවර කඩාකප්පල් කිරීම හරහා නැවත අරගල තත්වයක් නිර්මාණය කර ඒ ඔස්සේ විප්ලවීය අන්දමින් බලය ලබාගැනීමට සැලසුම් කරන අය මෙන්ම අර්බුදය මැතිවරණ ජයග්‍රහණයක් සඳහා භාවිතා කිරීමට සැලසුම් කරන අය ද සිටිති.

2015-2019 සමයේදී රාජපක්ෂවරුන් ද අනුගමනය කළේ එම උපායමාර්ගයමය. සුරේෂ් සලේ සහරාන් හමු වී රාජපක්ෂ උපායමාර්ගයට ගැලපෙන අන්දමින් කටයුතු කළාද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත්, එසේ කරන්නට තිබෙන ඉඩ මුළුමනින්ම බැහැර කළ නොහැකිය. එසේ කළා නම්, එය පුදුම විය යුතු තත්වයක් ද නොවේ. (සලේ එය ප්‍රතික්ෂේප කළ හැකි සාධක ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.)

එසේම, බුද්ධි නිලධාරීන් හෙවත් රහස් ඔත්තු සේවා ත්‍රස්ත කණ්ඩායම් සමග රහසිගත සම්බන්ධකම් පැවැත්වීම ද අලුත් තත්වයක් නොවේ. උදාහරණයක් ලෙස, 2007දී අත්අඩංගුවට ගන්නා ලද ‘සිංහල කොටි’ නමින් හැඳින්වුණ සන්නද්ධ කණ්ඩායමේ නායකත්වයේම හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ අය සිටි බවට තොරතුරු තිබේ. වර්තමානයේදී ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි රැඩිකල් දේශපාලන කණ්ඩායම් තුළ ද දේශීය මෙන්ම විදේශීය ඔත්තු අංශවල නියෝජිතයන් පැලපදියම් වී සිටිනවා විය හැකිය. මෙම කණ්ඩායම් තුළ සිටින ආන්තක බලවේග ද දේශපාලන උපායමාර්ග සඳහා භාවිතා කරන්නට ඉඩ තිබේ.

චැනල් ෆෝ හා එය පසුබිමේ ක්‍රියාත්මක දේශපාලන ව්‍යාපාර ද ඔත්තු සේවාවල ග්‍රහණයට හසු වී නොමැති ඒවා නොවේ. ඒවා ද දේශපාලනික උපායමාර්ග වෙනුවෙන් භාවිතා වේ. මේ සියල්ල පසුපස විශාල මුදල් ගනුදෙනු ඇත. මෙම දේශපාලන උපායමාර්ග සමග දැනුවත්ව සම්බන්ධ වන අය එම ගනුදෙනුවල හවුල්කරුවෝය. එසේම, ඒ පසුපස වෙනත් උවමනාවන් ද තිබේ. උදාහරණයක් ලෙස, චැනල් ෆෝ වීඩියෝවේ ඇතැම් නළුවන්ට විදේශ රටවල දේශපාලන රැකවරණ උවමනා වී තිබෙන බව පැහැදිලිය.

විවිධ උවමනාවන් වෙනුවෙන් චැනල් ෆෝ වීඩියෝව භාවිතා වන ආකාරයටම සහරාන්ගේ අන්තවාදී කල්ලිය ද රාජපක්ෂලාගේ බල ව්‍යාපෘතියට භාවිතා වන්නට ඇත. එහෙත්, එක් දෙයක් කිව යුතුය. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අපගේ අත්දැකීම් අනුව, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එතරම් සිල්ලර අන්දමින් නිර්මාණය කරගත නොහැකිය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා හා කුලී මිනීමරුවා අතර වෙනසක් ඇත. කුලී මිනීමරුවා ද දැඩි අවදානමක් ගනියි. ප්‍රහාරයේදී ඔහු මිය යා හැකිය. එහෙත්, මරාගෙන මැරෙන බෝම්බකරු දැනුවත්වම දැවැන්ත විනාශයක් කිරීම සඳහා සියදිවි නසාගන්නෙකි. ප්‍රකෘති සිහියෙන් යුතු අයෙකුට සාමාන්‍ය අන්දමින් සිය දිවි නසාගැනීම පවා අතිශය දුෂ්කරය. කෝපයකින් තොරව ඝාතනයක් කිරීම ද සාමාන්‍ය පුද්ගලයකුට පහසු නැත. එසේ තිබියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා එය ක්‍රියාත්මක කරන්නා කෙතරම් මානසික පුහුණුවක් ලැබිය යුතුද යන්න සිතාගත නොහැකි තරම්ය. විශේෂයෙන්ම, ඉතා ධනවත්, උගත් තරුණ තරුණියන් පිරිසක් තම දරුවන් ද සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්වීමට තීරණය කිරීම රාජපක්ෂවරුන් බලයට පත්කිරීම වැනි අරමුණක් වෙනුවෙන් සිදු වේ යයි සිතීමම මුළාවකි. චිත්‍රපට බලා යථාර්ථය ඒ ඇසුරෙන් විග්‍රහ කරන්නට උත්සාහ කරන අය සිතන තරම් මිනිස් මනස හා ක්‍රියාකාරීත්වය සරල නැත.

1989 කැරැල්ල දරුණු ලෙස පරාජය වෙමින් තිබියදී, සංහාරයක් මධ්‍යයේ පවා ජනතා විමුක්ති පෙරමුණට එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු හෝ නිර්මාණය කරගැනීට බැරි විය. මාක්ස්වාදය නම් දහමට බැරි වූ ඒ දෙය දෙමළ ඊලාම්වාදයට මහා පරිමාණෙන් කළ හැකි විය. එහෙත්, එහි නායකයා මිය ගියේ සයනයිඩ් කරලවත් භාවිතා නොකරය. සහරාන්ගේ කල්ලියට යථාර්ථවාදී දේශපාලනික අරමුණක් තිබුණු බව නොපෙනේ. ඔවුන් මෙහෙයවන ලද ආගමික අන්තවාදය ද අමුතුම එකකි. මේ උම්මත්තක ස්වභාවය නිසා ඔවුන් රාජපක්ෂලාගේ බල උපායමාර්ගය වෙනුවෙන් පාවිච්චි වන්නට ඇත. එහෙත්, රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළාය යන්න අති සරල, පිළිගත නොහැකි කතාවකි.

එහෙත්, ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ රහස් ඔත්තු අංශ ඔවුන් එකී අන්තවාදී තීරණය වෙත යොමු කිරීමට කටයුතු කළා නම්, ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය. විමර්ශනවලින් හෙළිදරව් වන පරිදි නම්, ඔවුන් සමග වඩාත්ම සමීප ඔත්තු සේවා සම්බන්ධය පවත්වා ඇත්තේ ඉන්දියාවයි. සිදුවිය හැකි ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවට කල්තබා තොරතුරු ලබාදෙන්නේ ඉන්දියාවයි. සිදුවිය හැකි ප්‍රහාරයේ පරිමාණය පිළිබඳ ලංකාවේ ආරක්ෂක අංශවලට අවබෝධයක් තිබූ බව නොපෙනේ. මේ බව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම්වරයා විවෘතවම මාධ්‍යවලට කීවේය. ප්‍රහාර යන්න ගල් ප්‍රහාරවල සිට මරාගෙන මැරෙන ප්‍රහාර දක්වා විහිදිය හැකිය. මෙහිදී සිදුවූයේ උපරිමයයි.

චැනල් ෆෝ වීඩියෝව විසින් කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ දුක හා වේදනාව වානිජ හා දේශපාලන අරමුණු වෙනුවෙන් නැවතත් අධි සංවේදී ලෙස විකිණීමයි. එසේම, ප්‍රචණ්ඩත්වය හා කෘරත්වය පිළිබඳ කතා සහ කුමන්ත්‍රණ න්‍යාය අසන්නට සමාජයේ තිබෙන ආසාව ද මෙමගින් ආමන්ත්‍රණය කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පසුබිමේ ක්‍රියාත්මක වූ දේශපාලනයත්, චැනල් ෆෝ පසුබිමේ ක්‍රියාත්මක වන දේශපාලනයත් එකකි. ඒ දෙකම දේශපාලන බලලෝභය හා ආගමික උම්මත්තකභාවය සම්මිශ්‍රණය වූ සංසිද්ධි වේ. පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ මනෝභාවය තේරුම් ගැනීම තරම්ම චැනල් ෆෝ ප්‍රහාරය හා සම්බන්ධ ආගමික උතුමන්ගේ මනෝභාවය තේරුම් ගැනීම ද දුෂ්කරය. චැනල් ෆයිව් අවබෝධ කරගැනීම යන්නෙන් මා අදහස් කරන්නේ එයයි.

එහිදී පහත දැක්වෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම වැදගත්ය. චැනල් ෆෝ ප්‍රහාරයට පසු ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපෘතිය කුමක්ද? එහිදී කතෝලික පල්ලියේ නායකත්වය ස්ථානගත වන්නේ කොතැනද? ඔවුන් පාස්කු ප්‍රහාරයෙන් පසු ස්ථානගත වූ දේශපාලන ස්ථාවරයන් හා වර්තමාන ස්ථාවරයන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? පාස්කු ප්‍රහාරවලින් වාසි ලබාගෙන බලයට පැමිණි රාජපක්ෂවරුන්ගේ බලපෑමෙන් රට බංකොලොත් වීම හා ඒ සමග ආගමික දේශපාලනය ක්‍රියාත්මක වූ ආකාරය කුමක්ද? ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සදහා වත්මන් ආණ්ඩුව විසින් ගනු ලබමින් තිබෙන ක්‍රියාමාර්ග හමුවේ ආගමික දේශපාලනයේ ප්‍රතිචාර කෙසේද? නිදහසින් පසු ලංකාවේ දේශපාලනික ආධිපත්‍යය හිමි කරගෙන සිටින සිංහල බෞද්ධ බලවේග මෙම තත්වය හමුවේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

එතරම් දේශපාලනික නොවුණත්, පහත දැක්වෙන ප්‍රශ්නය ද වැදගත්ය. පාස්කු ප්‍රහාරය ඇත්තටම එල්ල කළ අන්තවාදී දේශපාලනයට වගකිව යුතු හා ත්‍රස්තවාදීන් සමග ඇත්තටම සම්බන්ධකම් පැවැත්වූ පිරිස් මේ අතර අහිංසක හා පැංචන් බවට පත් වී බලා සිටින්නේ නිකම්ද?

Social Sharing
අවකාශය නවතම විශේෂාංග