මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකදී වීඩියෝ/ඕඩියෝ සාක්ෂි භාවිතා කිරීම…

වර්තමානයේ බොහෝ මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු වලදී වීඩියෝ සාක්ෂි මෙන්ම දුරකථන පටිගත කිරීම්, SMS, FB post updates වැනි තාක්ෂණිකමය ස්වභාවයේ සාක්ෂි භාවිතා කිරීමට සිදු වන බව දක්නට ලැබේ. සමහර අවස්ථා වලදී එම සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන අතර යම් අවස්ථාලදී එම සාක්ෂි චූදිත විසින් ඉදිරිපත් කරන ආකාරයද දක්නට ලැබේ.

ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මේ සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකට අදාලව ඉදිරිපත් කරන්නේ නම් අනුගමනය කළ යුතු පියවර වේ. මේ පිළිබඳව අමුතු අමුතු විධාන පැමිණිල්ල මෙන්ම චූදිත වෙනුවෙන්ද ප්‍රායෝගිකව යොදා ගැනීමට යාම අවසානයේ මතු කරන්නේ ගැටළුකාරී තත්වයකි.

සමකාලීන රෙකෝඩනයක් ආශ්‍රිතව ඇති සාක්ෂි මෙන්ම පරිගණකයක් මගින් උත්පාදනය කරන සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකදී යොදා ගැනීමට අදාල නීතිය 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ අන්තර්ගත වේ.

ඒ අනුව අදාල සාක්ෂිය ඉදිරිපත් කිරීමට පාර්ශවයක් අදහස් කරන්නේ නම් ඒ යන්ත්‍රය, උපක්‍රමය හෝ පරිගණකය මෙහෙයවීම හෝ අදාල ක්‍රියාකාරකම් පාලනය කිරීම සම්බන්ධව කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද වගකිවයුතු තනතුරක් උසුලන අයෙකු විසින් කරනු ලබන දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කල යුතුය (නිදසුනකට- වීඩියෝ කර ඇත්නම් ඒ වීඩියෝ කල තැනැත්තාගේ දිවුරුම් ප්‍රකාශයක්). එවිට එම දිවුරුම් සාක්ෂිය, දිවුරුම් සාක්ෂිය ලබා දෙන අය අධිකරණයට නොකැඳවුවද සාක්ෂි ලෙස ආවේශනය කල හැකි වේ. එම දිවුරුම් ප්‍රකාශයේ ඇති යම් කරුණු ගැන හෝ ඊට අනුශාංගික අදාල කරුණක් ගැන විවෘත අධිකරණයේදී පරීක්ෂා කිරීමට විරුද්ධ පාර්ශවයට හැකියාව ඇත.

දැන් මේ සාක්ෂිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ අදාල සාක්ෂිය නිර්මාණය කළ අය විසින්ම නම් දිවුරුම් ප්‍රකාශය අවශ්‍ය නොවේ. මන්දයත්, කල තැනැත්තාම සාක්ෂි ලබා දෙන නිසාවෙනි. නිදසුනකට තමුන්ට පහරදීම, තමුන්ගේ දුරකථනයකින් රෙකෝඩ් කරන අයෙකු තමුන්ට පහරදීම පිළිබද නඩුවකදී ඒ වීඩියෝව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ නම් හා එය අධිකරණයට ඉදිරිපත් කරන්නේ එම අය විසින්ම නම් පනතේ 6 වගන්තියේ දැක්වෙන දිවුරුම් ප්‍රකාශය අවශ්‍ය කරුණක් වන්නේ නැත. එය අවශ්‍ය වන්නේ අදාල අය සාක්ෂියට නොකැඳවන විටදී ය. නිදසුනකට මේ සිදුවීමේ ම පහරදීම තමුන්ගේ දුරකථනයකින් වීඩියෝ කලත් එහි පිටපත නිර්මාණය කරනු ලබන්නේ වෙනත් අයෙකු විසින් නම් එවිට ඒ අන් අය නොකැඳවන්නේ නම් ඔහුගේ දිවුරුම් ප්‍රකාශය අවශ්‍ය වේ. මේ අවස්ථා දෙක 6(1) වන වගන්තිය අනුව පැහැදිලි කර ගත හැක.

මෙලෙස වීඩියෝ, ඕඩියෝ වැනි සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණයකදී ලඝු නඩු විභාගයේදී මෙහෙයවීමට බලාපොරොත්තු වන විටෙක එය ඉදිරිපත් කිරීමට අදහස් කරන පාර්ශවය විසින් නඩු විභාගය පැවැත්වීමට නියම කර ඇති දිනට දින 45 කට පෙර තමුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සාක්ෂි පිළිබඳ ලැයිස්තුවක් එකී සාක්ෂි වල පිටපතක් හෝ විරුද්ධ පාර්ශවයකට තේරුම්ගත හැකි වන සේ ප්‍රමාණවත් විස්තර සහිතව, විරුද්ධ පාර්ශවකරුට දැන්වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළයුතු වේ.

වැදගත් කරුණු.
1. නඩු විභාගය පැවැත්වීමට නියම කර ඇති දිනයට
2. දින 45 ට පෙර
3. විරුද්ධ පාර්ශවයට දැන්වීම කර.
4. සාක්ෂි ලැයිස්තුව.
5. සාක්ෂි වලට පිටපත් හෝ විරුද්ධ පාර්ශවකරුට එකී සාක්ෂි වල ස්වභාවය තේරුම් ගත හැකි වන සේ ඒ සාක්ෂි පිළිබඳ විස්තරය.

ඉතා වැදගත්,

7(1) (අ) වගන්තියට අනුව අදාල සාක්ෂිය ඉදිරිපත් කිරීමට අදහස් කරන පාර්ශවය විසින් (ඒ අනුව පැමිණිලිකරු ද චූදිතද යන්න අදාල නොවේ) විභාගයට පැවැත්වීමට නියම කර ඇති දිනට දින 45 ට පෙර සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. චූදිත වුවද මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයේදී වීඩියෝ, ඕඩියෝ වැනි සාක්ෂි ඉදිරිපත් කිරීමට අදහස් කරයි නම් විභායට දින 45 කට පෙර අදාල සාක්ෂි පිළිබඳව 7 (1) (අ) වගන්තිය අනුව කටයුතු කල යුතුවේ. එසේ නොවන්නට ඔහුට ඒ සාක්ෂිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ඉදිරිපත් කරමින් හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ නොලැබේ. එසේ ලැබෙන්නේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අදාළ සාක්ෂිය හබ නොකරන්නේ නම් පමණි. මේ විභාග දිනය, නඩුව විභාගයට නියම කරන මුල් දිනය බව ඔබ දැනටමත් දන්නා කරුණකි. පැමිණිල්ලට වුවද මේ තත්වය මෙසේමය.

7(1)(අ) වගන්තියේ පියවර අනුගමනය නොකරන ඒ සාක්ෂිය නඩු විභාගයේදී මෙහෙයවීමට නොහැකි වේ.

එසේම පැමිණිල්ලට වුවද චූදිතට වුවද 6(1) වගන්තිය ප්‍රකාරව 7(1)(අ) වගන්තිය අනුව සාක්ෂි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශවයන් නිසි පියවර අනුගමනය කර නැත්නම් විරෝධය පලකර හැක. තවත් කරුණක් එහිදී සැලකිල්ලට ගත යුතු වේ. එනම් සමහර විට මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව විභාගයට නියම කිරීමේදී මේ දින 45 සීමාවට පෙර දිනයක් විභාග දිනය විය හැකිය. එවිට නිශ්ශබ්දව නොසිට මේ පිලිබඳව අධිකරණය දැනුවත් කර දිනය පිළිබද සුදුසු පියවර ගත යුතු වේ. ඕනෑම අධිකරණයක් ඒ සදහා සහාය දක්වයි. එය සිදු නොකර පසුව දොස් නැගීමෙන් පලක් නැත.

මෙසේ දින 45 ක දැන්වීම ද සහිතව 7(1)(අ) වගන්තිය යටතේ සාක්ෂිය ඉදිරිපත් කරන පාර්ශවය කටයුතු කල විට දැන්වීම ලැබෙන පාර්ශවයේ කටයුතු ඇරඹේ. එම පාර්ශවය විසින් එවිට දැන්වීම ලැබී දින 15 ක් තුල පනතේ 7(1)(ආ) වගන්තිය ප්‍රකාරව ඉල්ලීම කළ යුතු වේ.
ඉල්ලීම කල පසු හා ඉල්ලීම ලද පසු එයින් දින 15 ක් ඉකුත් වීමට පෙර ඉල්ලීමට අනුව කටයුතු කිරීමට සාක්ෂිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාර්ශවයට සිදුවේ. ඊට අදාල ප්‍රතිපාදන 7(1)(ඇ) වගන්තියේ ඇතුලත් වේ.

මේ 7 (1) (අ) (ආ) (ඇ) වගන්ති ප්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත් වන පාර්ශවයන්ට අදාල සාක්ෂිය සම්බන්ධව ඉන්පසුව ප්‍රශ්න කිරීමට නොහැක. මේ සම්බන්ධව 7(2) වගන්තියේදී කරුණු දක්වා තිබේ.

හරිෂ් පැල්පොල

Social Sharing
අවකාශය නවතම පුවත්