වංචනික ලෙස මුදල් උපයා විදේශ රටවල් තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් නැවත එම මුද අයකර ගැනේ…

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත මාර්කෝ ටෙක්සෙයිරා සමඟ සඳුදා (සැප් 04) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

වංචනික ලෙස වත්කම් උපයාගත් පුද්ගලයින් විදේශ රටවල තැන්පත් කර ඇති මුදල් අයකර ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බව ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට ලෝක බැංකුව වෙනුවෙන් UNODC කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

නව දූෂණ මර්දන පනත සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බැවින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝක බැංකුව සහ UNODC එක්ව භාවිතා කරන සොරාගත් වත්කම් ප්‍රතිසාධන ආධාර (Stolen Asset Recovery Assistance (StAR)) ක්‍රමය මඟින් සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Star යනු ලෝක බැංකු සමූහය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අතර හවුල්කාරිත්වයක් වන අතර එය දූෂිත අරමුදල් සඳහා ආරක්ෂිත තෝතැන්න අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහාය වේ.

දූෂණයෙන් ලැබෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ සොරකම් කරන ලද වත්කම් වඩාත් ක්‍රමානුකූලව සහ කාලෝචිත ලෙස ආපසු ලබා දීමට පහසුකම් සැලසීමට ස්ටාර් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ මූල්‍ය මධ්‍යස්ථාන සමඟ කටයුතු කරයි.

Social Sharing
නවතම පුවත් විදෙස්