කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!

ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් තිරසර ලෙස ගොඩගත හැකි මාර්ගය ඉහළ ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කරගැනීමයි. එය කළ හැකි වන්නේ උන්නතිකාමී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම හරහායි. එසේ නොකළහොත්, ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැවත නැවතත් ණය පැහැර හරිමින්, බංකොලොත් වෙමින්, සදාකාලිකව මේ ආර්ථික අගාධය තුළ එක තැන පල්වෙන්නටයි.

2022දී සිදු වූ බල පෙරළියෙන් පසු, ගත වූ වසරක කාලය තුළ රජය යම් සාර්ථකත්වයක් අත් කරගෙන තිබේ. උද්ධමනය 5%ටත් අඩු මට්ටමට ගෙනැවිත් තිබේ. පොළී අනුපාතික පහළ යාම ව්‍යාපාරවලට මහත් සහනයකි. දිළිඳු ජනයා වෙනුවෙන් අස්වැසුම හා සමෘද්ධි සහනාධාර ලබාදීම සිදු වේ. එමගින් පවුල් ලක්ෂ 20කට වැඩි ගණනකට සහනාධාර ලැබේ. මේ අතර, ශ්‍රී ලංකාව විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට ද සමත් වී තිබේ. බංග්ලාදේශය සමග සිදුකරන ලද ඩොලර් මිලියන 200ක හදිසි මුදල් හුවමාරුවෙන් ඩොලර් මිලියන 50ක් ආපසු ගෙවීමට ද ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට තවදුරටත් අති විශාල විදේශ ණය කන්දරාවක් ගෙවීමට තිබේ. ඒ වෙනුවෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට යමින් තිබේ. චීනය ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මත මෙම වසර තුළ ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කරගැනීමට රජය බලාපොරොත්තු වෙයි. ඒ වෙනුවෙන් දේශීය ණය ප්‍රශ්ස්තකරණයක් සිදුකරන ලදි.

දේශීය ණය ප්‍රශ්ස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට හානි සිදුවන බව පවසා පෞද්ගලික අංශයේ සේවකයන කුපිත කිරීමට අරාජික-අන්තවාදී කොටස් උත්සාහයක් දරන නමුත්, එය සාර්ථක වන බව දක්නට නොලැබේ. ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් විරුද්ධ පක්ෂ ද අරාජික-අන්තවාදීන්ගේ මෙම උත්සාහයට උපකාර කරන බවක් නොපෙනේ. එහිදී පෞද්ගලික අංශයේ සේවකයන්ට දැනටමත් දක්නට ලැබිය හැකි තම ඉතුරුම්වලට ඉහළ පොළියක් හා කප්පාදුවකින් තොර ප්‍රතිලාභ ලැබේ.

අරාජික-අන්තවාදීන් උත්සාහ කරන්නේ පීඩනය බැංකු පද්ධතිය මත ඇද දමා බැංකු බිඳ වැට්ටීමටයි. එමගින් රැළි පිට රැළි නැගෙන අර්බුදයක් නිර්මාණය කළ හැකි බව ඔවුහු දනිති. රාජ්‍ය බලය හෝ අපේක්ෂා නොකරන, දෘෂ්ටිවාදීමය ෆැන්ටසිවල සිටින මෙම බලවේගවල බලපෑම රට තුළ තවමත් බලවත්ය.

අරාජික-අන්තවාදයට වඩාත් සමීප දේශපාලන බලවේග වන සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය පිළිබඳ සිතන පක්ෂ බැවින් ඔවුන් මෙවැනි කටයුතුවලට මැදිහත් වන්නේ කිසියම් පරිස්සමකින් බව පෙනේ. එහෙත්, එම පක්වල චර්යාවන්ගේ වගකීම් සහගතභාවය ද ප්‍රශ්නකාරීය.

දැන් නැවතත් මැතිවරණවල ඉව දේශපාලකයන්ට බැරෑරුම් ලෙස දැනෙමින් තිබේ. විපක්ෂ බලවේග නම්, රටට, සමාජයට, ආර්ථිකයට යන සියල්ලටම පෙර මැතිවරණ ඉදිරියට ගෙන තිබිණි. ආණ්ඩු බලවේගය මැතිවරණවලට ප්‍රමුඛතාව නොදුන් අතර පළාත් පාලන මැතිවරණය නීතිමය හා පරිපාලනමය ගැටලු මැද කඩාකප්පල් වීමට ඉඩ හැරියේය. එහෙත්, 2023 වසරේ තුන්වන කාර්තුව අවසන් වෙමින් තිබියදී, කොහොම ගියත්, තව අවුරුද්දකින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බව පෙනී යාමත් සමග දැන් දැන් දේශපාලන පක්ෂ හා නායකයන් මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලනයක් වෙත යොමු වෙමින් තිබෙන බව පෙනේ. එය ප්‍රජාතාන්ත්‍රිකව ස්වභාවිකය. එහෙත්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හැමදාමත් මෙන් මෙහිදී ද පිරිවැය අනුව කාර්යක්ෂම නැත.

මැතිවරණ සුවඳ දැනීමත් සමගම ආණ්ඩුවේ අභ්‍යන්තර සමගිය ඉරිතලමින් සිටින බව පෙනේ. එ් සමගම ප්‍රතිසංස්කරණ උද්‍යෝගයට ද බලපෑම් සිදුවෙමින් තිබේ. රජය මේ දක්වාම ඇතැම් ආර්ථික ප්‍රතිසංස්කරණවලට බැරෑරුම් ලෙස අතගසා නැත. ආයෝජකයන් ආකර්ශනය කරගැනීමෙහිලා සිදුකළ යුතු ඉතා වැදගත් නීති ප්‍රතිසංස්කරණ තිබේ. එසේම, තවමත්, ශ්‍රීලන්කන් වැනි සුදු අලි ද ඇතුළුව වැදගත් රාජ්‍ය ව්‍යවසායක් පෞද්ගලිකකරණය කිරීමට ද රජය අසමත් වී තිබේ.

එසේ වන්නට හේතුව ඇත්තේ දේශපාලනය තුළය. රජයේ වැඩසටහන මහජනතාව අතර සංවාදයට භාජනය කිරීමේදී ඇමතිවරුන් හෝ වගකීමකින් කටයුතු කරන බව නොපෙනේ. උදාහරණයක් ලෙස, මේ මොහොතේ රටට බලපාන දරුණු නියඟය හමුවේ විදුලි බල හා බලශක්ති, මහවැලි, වාරිමාර්ග, කෘෂිකර්ම, ජල සම්පාදන වැනි අමාත්‍යාංශ අතර තිබිය යුතු සාමූහික ක්‍රියාකාරීත්වය වෙනුවට දැකිය හැක්කේ එකෙකුට එකෙකු නැතුව එක එකා එක එක පාරවල යන තත්වයකි. මහින්දානන්ද අමරවීර වැනි ඇමතිවරුන් මාධ්‍යවලට අදහස් පළකරන්නේ කැබිනට් සාමූහික වගකීම ගැන අංශු මාත්‍රයක් නොතකමිනි.

මේ අතර, රජයේ රැකියා දීම්, තීරු බදු රහිත වාහන ආනයනය වැනි නතර කර තිබුණු ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන්නට උත්සාහයක් තිබෙන බව ද දකින්නට ලැබෙනවා. මේ සමග පෙනී යන කාරණය නම්, ආර්ථිකය මත යන්තමින් වැසිපොදක් වැටෙන විටම වල් පැළ යළි හිස ඔසවන බවයි. එහෙත්, එ්වාට ඉඩ දුන්නොත්, නැවතත්, බංකොලොත්භාවයට ගොදුරු වීමට ලංකාවට සිදුවනු ඇත.

මෙම පසුබිම තුළ, ජනප්‍රියවාදයන්ට යට නොවී, දේශපාලන බල පොරයන් මැදින් අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන්නට ආණ්ඩුව පොළඹවාගත යුතුව තිබේ. එහිදී, බල උවමනාවන් වෙනුවෙන් කකුලෙන් අදින, බොරු පතුරුවන, මහජනයා කුපිත කරන දේශපාලකයන්ගේ තර්ජනවලට හා ඔවුන් පසුපසින් පැමිණෙන අරාජකවාදයට යට නොවෙමින් ප්‍රතිසංස්කරණ මාවතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නට කළ යුතුව තිබෙන්නේ කුමක්ද?

දේශපාලනික හේතු මත දේශපාලකයන් බොහෝ දෙනෙකු ජනතාවට ඇත්ත නොකීම හැමදාමත් පවතින පුරුද්දකි. එහෙත්, තව දුරටත් එසේ කිරීමෙන් පළක් නැත. රටක් වශයෙන් ගොඩඑන්නට නම්, දුෂ්කරතා විඳ දරාගැනීමට සිදුවන බව ද 2019ට පෙර පැවති තත්වය නැවත උදා නොවන බව හා එකල කළ විකාර නැවත කළ නොහැකි බව පැහැදිලිව, විවාතව කිව යුතුය. රාජ්‍ය නිලධාරීන් ද දේශපාලකයන්ට නොදෙවෙනි පිරිසකි. ඔවුන් වැඩිදෙනෙකු කටයුතු කරන්නේ පටු, ආත්මාර්ථකාමී වරප්‍රසාද වෙනුවෙනි. නැතිනම්, යටිකූට්ටු දේශපාලන ව්‍යාපෘති වෙනුවෙනි. අකාර්යක්ෂමතාව රාජ්‍ය සේවයේ නිදන්ගත රෝගයකි. අරාජිකත්වය සමග මුසු වූ විට රාජ්‍ය ප්‍රතිසංස්කරණවලට ඇති ප්‍රධාන බාධාව වන්නේ රාජ්‍ය සේවයමය.

මෙම පසුබිම තුළ, මෙම සටහන තබන මාද ඇතුළුව, මැතිවරණ දේශපාලනය නොකරන සිවිල් සමාජ කණ්ඩායම් උත්සාහ කරනුයේ දේශපාලකයන් හා නිලධාරීන් පැත්තෙන් සිදු නොවන භූමිකාව වෙනුවෙන් මැදිහත් වීමටයි. ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳ සංවාදය මහජනතාව අතරට ගෙන යා යුතුය. එසේම, එම ප්‍රතිසංස්කරණ ප්‍රමාද නොකළ යුතු බවට රජයට බලපෑම් කළ යුතුය. ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුය. ප්‍රතිසංස්කරණ අතරතුර අවදානමට පත්වන ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජයට බල කළ යුතුය. මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් කටයුතු කළ යුතුය. වැරදි තොරතුරු වෙනුවට හරි තොරතුරු සන්නිවේදනය කිරීමට උත්සාහ කළ යුතුය. කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

Social Sharing
අවකාශය නවතම