වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.

cost of living allowance in sri lanka

– බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන-

කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය යුතු රුපියල් 5000 ක දීමනාව ගෙවීමට පියවර ගත යුතු බවට තීන්දු කළේය. වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කොට දී ඇති පැමිණිලිකරුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බැවින් එම මුදල පැමිණිලිකරුට ගෙවීමට කටයුතු කළ යුතු බවට මානව හිමිකම් කොමිසම තීන්දු කර තිබේ.

මෙකී නිර්දේශය ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙසද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) රෝහිණි මාරසිංහ මහත්මිය ගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයෙන් සඳහන් වේ.

බදුල්ල හිඟුරුගමුව පදිංචි එස්. එච්. සුමතිපාල නැමැත්තා විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ. තමා වයස අවුරුදු 70 ඉක්මවූ කිසිම විශ්‍රාම වැටුපකට හෝ කිසිම ආදායම් මාර්ගයකට හිමිකම් නොකියන පුරවැසියෙකු බවත් අවුරුදු 65ක් වල තම බිරිය සමඟ ජීවත් වන බවත් සෝමපාල මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබිණ.

මෙම ආධාර දීමනා දීමට ග්‍රාමීය මට්ටමේ කමිටුව පිහිටුවා ඔවුන්ගේ තීරණය මත ගෙවීම් කටයුතු සහ නම් ඉවත් කිරීම් කටයුතු ද සිදු වී ඇති බව ග්‍රාම නිලධාරී වාර්තාවෙන් තහවුරු වන බවත් එම ආධාර මුදල ලබා ගැනීමට සුදුසුකම් තිබුණද හිතාමතා ඔහුට එය ලබාදීම කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇතිබව තහවුරු වන බවත් මානව හිමිකම් කොමිසමේ සභාපති රෝහිණි මාරසිංහ මහත්මිය සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

වසර 03ක් තිස්සේ විභාග වූ මෙම පැමිණිල්ලට අනුව තමාට ලැබිය යුතු රුපියල් 5000ක කොවිඩ් දීමනාව නොබෝදා තමාට ලබා ගැනීමට හැකි වූ බවත් පැමිණිලිකාර සුමතිපාල මහතා පැවසීය.

Social Sharing
අවකාශය නවතම