ඉවසීම සහ විශ්වාසය වැදගත් – ලංකා වාණිජ මණ්ඩලය

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ ‍ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනය:

“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉවසීමේ සහ විශ්වාසයේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරන ලද පරිදි මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම සහ තැන්පත්කරුවන්ට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇත.

අවසාන ලේඛනය මත පදනම් වූ නිර්මාණාත්මක සංවාදයකින් අනතුරුව යෝජිත සැලැස්ම විස්තීර්ණ හා පරිපූර්ණ පරීක්‍ෂණයකට සාමූහිකව ඉඩ දීම අත්‍යවශ්‍ය වේ. ජාතික අවශ්‍යතා ප්‍රමුඛ කොට ගනිමින් අර්ථවත් එකඟතාවක් ඇති කර ගත හැක්කේ එවිටය.

යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අවසන් වන තෙක් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අදාළ සියලුම දේශපාලන පක්ෂ සහ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී.

මෙය සමස්ත ණය තිරසාර න්‍යාය පත්‍රයේ තීරණාත්මක පියවරක් වනු ඇති අතර ඊට සම්බන්ධ අනෙකුත් තීරණාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහාය වනු ඇත. ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෑත දිනවල බොහෝ කනස්සලු සහගත තත්වයන් ඇති විය.

අපි මෙම උත්සුකයන් තේරුම් ගෙන විවෘත සංවාදයකට ඇති අයිතිය පිළිගන්නා අතරම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සාමාන්‍ය ජනතාව අතර අවිනිශ්චිතභාවය අවුස්සන වැරදි තොරතුරු සහ සමපේක්ෂන වැලැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳ වෙළඳපල සංවේදීතාවන් පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය.

සියලුම පාර්ශ්වකරුවන් අතර ඵලදායී, දැනුවත් සංවාදයක් සහ සහයෝගීතාවයක් ඇති කිරීමට ලංකා වාණිජ මණ්ඩලය කැපවී සිටී. අපගේ ජාතියේ සමාජ – ආර්ථික සංවර්ධනයේ ප්‍රයෝජනය සඳහා සාකච්ඡාවට සම්බන්ධ සියලුම පාර්ශ්ව මෙම මූලධර්මය ආරක්ෂා කරනු ඇතැයි අපි විශ්වාස කරමු.”

 

Social Sharing
නවතම පුවත්