දේශබන්දු සහ දේශයේ පාලනය..!

DIG Deshabandu Tennakoon on leave for 14 daysජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ ව සැකකරුවකු වශයෙන් පෙනීසිටින ලෙස දන්වා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර ඇත.

ප්‍රමාණවත් සාක්ෂි නෑ ?

එසේ ම 2022 මැයි 9දා ගෝල්ෆේස්හි ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළ ව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් තවත් රිට් ආඥාවක් නිකුත් කෙරිණි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මැයි 09දා ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියට මෙම පෙත්සම්කරු ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවයි. ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316 සහ 343 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එසේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහුට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවන බව ද අවධාරණය කර තිබේ.

සැකකරුවෙක් නෙමෙයි ?

ඒ අනුව පෙත්සම්කරු සැකකරුවකු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපිය තුළින් පෙත්සම්කරුට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවත්, එය නීතිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලය අබිබවා ගොස් කටයුතු කිරීමක් බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පෙත්සම්කරු සැකකරුවකු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ද බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය, ඔහු අදාළ සිද්ධියේ තවදුරටත් සැකකරුවකු නොවන බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මෙහිදී නියෝග කරන ලදි. එම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තවත් රිට් ආඥාවක් ද නිකුත් කරනු ලැබිණි.

ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබිණි.

සීඅයිඩියේ භාවිතය !

පහරදීම, තුවාල සිදුකිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, දේපොළ රැසක් ද විනාශ කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් දැනටමත් සැකකරුවන් ලෙස නම් කර තිබෙන අතර, දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කිරීමට සාක්ෂි ඇති බවට මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහු සැකකරුවකු ලෙස නම් කළේ නැත.

එසේම ඔහු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටීමෙන් විමර්ශනයට බාධා විය හැකි බවට විවිධ පාර්ශ්ව චෝදනා කළ අතර, නීතිපතිවරයා ද ඒ බව දැනුම් දුන්නද ඔහු ස්ථාන මාරුකිරීමක් හෝ සිදුකෙරුණේ ද නැත.

ගෝඨාගේ මුදල් ?

මේ අතර ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාරදෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි.

‘ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී තිබුණේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දී තිබිණි.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනීසිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

විමර්ශන ඉවතට?

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබිණි.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු මෙහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි. ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව අධිකරණය ඉදිරියේ පවසා තිබිණි..

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගන්නා ලදි. නීතිඥවරුන්ගේ ඉල්ලීම මත, මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය සිදුරමින් සිටියේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 04කට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර අනුමත කර එම නිලධාරීන් වෙත යැවීමට පසුගිය මැයි මාසයේදී කටයුතු කෙරිණි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් නිලධාරීන් සිව්දෙනෙකුට යොමු කර තිබූ අතර, එම නිලධාරීන් සිව්දෙනාගෙන් ඇතැම් නිලධාරීන් තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට මේ ගැන දැනුම් දී තිබියදී එම නිලධාරීන් එම නියෝග නිසි ලෙස ඉටු කරමින් ආරක්ෂාව ගැන සොයා බලා නැති බවත්, ඔවුන් නිසියාකාරව කටයුතු කළේ නම් මෙම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ මලල්ගොඩ කමිටු වාර්තාවේ සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරීසක් මෙසේ චෝදනා පත්‍ර යොමු කෙරුණු පිරිස අතර සිටිති.

රාජකාරි පැහැර හැරීම ?

2019 අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිලධාරීන් 11 දෙනෙකුගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඒ පිළිබඳ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු එහි නම සඳහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු නිලධාරීන් 10 දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බවට නිර්දේශ කළේය. එහෙත් මෙහිදී චෝදනා පත්‍ර කෙටුම්පත් කර තිබුණේ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සම්බන්ධයෙන් පමණි. විශේෂ විමර්ශන ඒකකය චෝදනා පත්‍ර කෙටුම්පත් කර එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට යොමු කළ අතර, වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම චෝදනා පත්‍ර 2020 ජනවාරි මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය.

කොමිෂන් වාර්තාව එන තෙක් ?

ඒ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කර තිබිණි. එම නිසා කොමිෂන් සභා වාර්තාව එන තෙක් චෝදනා පත්‍ර ලබා නොදීමට 2020 පෙබරවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.

අදාළ ජනාධිපති කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව සහ වෙළුම් 2021 පෙබරවාරි 01දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාර දුන් අතර, ඒ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමට තිබූ බලතල ඉවත් කර එම බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා තිබිණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2021 ජුනි 15දා අදාළ චෝදනා පත්‍ර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලදි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.කේ.සී. අතුකෝරල, පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරි කේ.එම්.ආර්.එස්.බී. කුමාරසේන සහ සහකාර පොලිස් අධිකාරි එච්.බී.එස්.එස්. සිසිර කුමාර මෙසේ චෝදනා පත්‍ර සකස් කෙරුණු පිරිස ය.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඩී.කේ.සී. නවරත්න, පොලිස් පරීක්ෂක පී. එස්. උපේන්ද්‍ර, පොලිස් පරීක්ෂක ඒ. එම්. එස්. අබේසිංහ, පොලිස් පරීක්ෂක එම්. ඒ. සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ඒ. එල්. ජී. ආර්. කුමාර, පොලිස් සැරයන් සුනිල් ආර්යසිංහ, පොලිස් සැරයන් ආර්. එස්. රාජපක්ෂ, පොලිස් සැරයන් එච්. එම්. ඩී. එස්. හඳපාන්ගොඩ, පොලිස් සැරයන් එම්. එම්. නිශාන්ත සහ පොලිස් කොස්තාපල් කේ. ජී. එස්. සම්පත් යන පිරිසට ද වහාම චෝදනා පත්‍ර ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම මගින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

පොලිස්පතිගේ ඉල්ලීම ?

මේ අතරතුර පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යවමින් මෙම නිලධාරීන් අපරාධ නඩුවල සාක්ෂිකරුවන් විය හැකි බැවින් චෝදනා පත්‍ර ලබානොදෙන ලෙස ඉල්ලා තිබූ අතර, ඉන්පසු චෝදනා පත්‍ර ලබාදීමක් සිදු නොවීය.

මෙම විමර්ශන ආරම්භ වූ දින සිට චෝදනා පත්‍ර නිකුත් කළ දිනය තෙක් කාලය තුළ එම චෝදනා පත්‍ර නිකුත් කිරීමට නිර්දේශ වූ නිලධාරීන්ට උසස්වීම් ලබා දී තිබුණු අතර, ඇතැම් නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීම විශේෂත්වයක් විය.

උපුටාගැනීම – Thetime.lk

Social Sharing
නවතම විශේෂාංග