එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

patali champika ranawaka president commission sri lankaඑළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම. – මින් යම් කිසි කම්පනයක් ඇතිවෙතැයි අපේක්ෂිත බැංකු ක්ෂේත්‍රයට සහ කොටස් වෙළෙඳපොළට 30 වෙනිදා නිවාඩු ලබා දී තිබේ. ණය කප්පාදු කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදල අර්බුදයට යන බවත්, තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වාත්, මහ බැංකුවේ සේවකයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්, මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියළුදෙනා මින් අර්බුදයට යන බවත්, රණවක මහතා පෙන්වා දෙයි. ඒ අනුව ආණ්ඩුවේ තාවකාලික චූන් එක සහ පෝළිම් නැතිවුනා, යනුවෙන් උදම් ඇනූ යුගය ද අවසන් වී යනු ඇතැයි ද හෙතෙම කියයි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට ඕන ඕන විදියට කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඉතාම වැදගත් මූලධර්මයක් තමයි සැමට සමානව සැලකීම. ඒ නිසා දේශීය ණය හිමියන්ට එක ප්‍රතිපත්තියකුත්, විදේශීය ණය හිමියන්ට තව ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන්න රජයට බෑ. අපි මේක මුල ඉඳන්ම කිව්වා. ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වා මේක කරන්න බැහැ. මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. දෙවෙනි වැදගත් කාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දරාගත හැකි මට්ටමකට පත්වුණාය කියලා සෑහීමකට පත්වෙන විදිහට ණය කපන්න ඕනේ. අපි මේ ණය ටිකක් කපලා බේරෙන්න බැහැ. සෑහීමකට පත්වෙන විදියට ණය කපන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිර්ණායක වලට අනුකූල වෙන්න ඕනේ”

මෙසේ ප්‍රකාශ කළ රණවක මහතා පහත තොරතුරු ද අනාවරණය කළේය.

දේශීය ණය (රුපියල්) 2023.03.31 – බිලියන 15,349 (64% ද.ජා.නි)

ඉන් – භාණ්ඩාගාර බිල්පත් – රුපියල් බිලියන 4636 (19% ද.ජා.නි.යෙන්)

– භාණ්ඩාගාර බැඳුම්කර – රු.බි. 9108 (38% ද.ජා.නි.යෙන්)

-තෙල් සංස්ථාවේ ණය 797 රු.බි. (3% ද.ජා.නි.)

-ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) 276 රු.බි. (1% ද.ජා.නි.)

විදේශ මුදල් වලින් ඇති දේශීය ණය (FCBU) 112 රු.බි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගත් අත්තිකාරම් 345 රු.බි.

වර්තමාන තත්ත්වය (ජුනි 22 වන විට)

– භාණ්ඩාගාර බිල්පත් රු.බි. 5291

– භාණ්ඩාගාර බැඳුම්කර රු.බි. 9032

“දැන් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ? ලබන 28 වෙනිදට මේ දේශීය ණය කප්පාදු කරන ක්‍රමවේදය සහ විදේශ කප්පාදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන්නයි යන්නේ. හැබැයි අපේ ණය හිමියන් සමඟ ඒ අත්සන් කරන ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයට පෙර අත්සන් කළ යුතුයි. එසේ නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර හය මාසයකට පසුව එන පසු විපරමට එහෙම නැත්නම් රිවිව් එකට අපි අහුවෙලා අපි ඒ කටයුත්ත කළේ නැත්නම්, අපිට ජාත්‍යන්තර මූල්‍ අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම්, ඒ එක්කම ලෝක බැංකුවේ, සංවර්ධන බැංකුවේ මේ දැන් ලැබෙමින් තියෙන සහයෝගය නතර වීමේ අනතුරක් හා ලංකාවට ණය හිමියන්ගේ අධිකරණ ක්‍රියාවලීන් වලට මුහුණ දීමේ අනතුරකුත් එක පැත්තකින් තියෙනවා. ”

විදේශීය ණය (ඩොලර් බිලියන) 31.03.2023

ආණ්ඩුව විසින් උසුලන 36.090

(මෙයින් වාණිජ ණය 14.751)

මහ බැංකුව විසින් උසුලන 5.065

ආණ්ඩුවේ සමස්ත ණය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා.

ආණ්ඩුවේ සමස්ත ණය

31.12.2022 84.703

31.03.2023 91.561

ඒ කියන්නේ ඩොලර් බිලියන 6.85ක් වැඩියෙන් ණය වෙලා තියෙනවා මේ කෙටි කාලය ඇතුළත. මේක සමහරු කිව්වේ ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරගෙන කියලා. එහෙම්මම නෑ. ඩොලර් වලින් ගත්ත ඒවත්, භාණ්ඩාගාර බිල්පත් හරහා රුපියල් වලින් ගත්ත ඒවත්, එකට එකතු කරලා තමයි මේක අරන් තියෙන්නේ. මේක සැලකිය යුතු විශාල ගාණක්.

දැන් ආණ්ඩුව මොකද කරන්න යන්නේ? මේක කප්පාදු කරන්න යන්නේ. රුපියල් ණය කප්පාදු කරන්න යන්නේ ඩොලර් ණය කප්පාදු කරන්න යන්නේ. මොකක්ද මූලධර්මය? මූලධර්මය තමයි දළ මූල්‍යයන අවශ්‍යතාවය කියලා අපි අඳුනගෙන තියෙනවා

 

වාර්ෂික දළ මූල්‍යයන අවශ්‍යතාවය

(Gross Financial Need)

2024 17.9% ද.ජා.නි

2026 15.9% ද.ජා.නි

2028 < 13% ද.ජා.නි

2022 තත්ත්වය

GFN 32% ද.ජා.නි

ගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයෙන් 32% යි. මේක අඩු කරන්න ඕනේ ලබන අවුරුද්දේ 17.9% ට. ඒ කියන්නේ අපේ වියදම් කපන්න වෙනවා වියදම් ඇතුලේ තියෙනවා මොනවද ණය ආපසු ගෙවීම. ණය කැපීම තමයි මේකේ අරමුණ එතකොට ණය කපන ක්‍රම තුනක් තියෙනවා.

1. පොලිය කපා හැරීම : භාණ්ඩාගාර බිල්පත් වල තියෙන, වෙනත් විදේශ ණය වලින් ගත්ත ඒවට, අපි ගෙවනවා නම් යම් පොළියක්. ඒ පොළිය කපා හැරීම.

2. කල් පිරෙන කාලය කල් දැමීම.

3. ගත්ත ණය ප්‍රමාණය කපා හැරීම.

ණය කප්පාදු නොකළොත් මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන අරමුදලේ රැකවරණය නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ අද මේ තියෙන තාවකාලික චූන් එක නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි ජූනි 30 වෙනකොට භාණ්ඩ 1300 කට අධික ප්‍රමානයක එච් එස් වල තියෙන ඒවා නිදහස් කරන දිනය, වාහනත් ඇතුළත්ව ආණ්ඩුවට ප්‍රකාශ කරන්න වෙනවා. මේ සියල්ලම මොනවද? ඩොලර් එළියට යන ක්‍රම. එතකොට මේ ඩොලර් එක දැන් මෙච්චර ගාණට ගෙනාවා, පෝලිම් නැතිවුණා කියලා උදම් ඇනපු ඒ යුගය අවසන් වෙන්න නියමිතයි. ජූනිවලින් පස්සේ.

ඒ වගේම මේ ණය කප්පාදුවත් එක්ක විශාල අර්බුදයකට යනවා මොනවද? සේවක අර්ථසාධක අරමුදල, සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන බිලියන 3500කට ආසන්න මුදල මුළුමනින් ම පාහේ ආණ්ඩුව අරන් තියෙනවා ණය හැටියට. කවුද සේවක අර්ථසාධක අරමුදලේ ඉන්නේ? තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා, විශ්ව විද්‍යාල මහාචාර්ය, කොටින්ම කිව්වොත් මහ බැංකුවේ සේවකයෝ පවා, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ, මේ ඉන්නේ සේවක අර්ථසාධක අරමුදලේ.

වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාකාරී ගිණුම් ප්‍රමාණය විසිහය ලක්ෂයක්. ඒ කියන්නේ විසිහය ලක්ෂයක් වැඩ කරන ජනතාව මහාචාර්යවරුන්ගේ ඉඳන් තේ දළු කඩන කාන්තාව දක්වා, ඊට අමතරව ගිණුම් අසූ ලක්ෂයක් තියෙනවා. පරණ විශ්‍රාම ගිය අයත් එක්ක. එතකොට මේකට වදිනවා කියන්නේ තමන් ජීවිත කාලයක් මහන්සි වෙලා, හරි හම්බු කරලා, මහත් වූ බලාපොරොත්තු තබාගෙන හිටපු සේවක අර්ථසාධක අරමුදල අපි අපේ මිනිස්සු පන්ඩ් එක අරගන්නවා කියලා. ෆන්ඩ් එක සමහරවිට ලක්ෂ පහ වෙන්න පුළුවන්. සමහරෙකුට ලක්ෂ තුන්සිය පනහ වෙන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් වදිනවා. කවුද මේකට වගකියන්න ඕනේ?”

විශේෂයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව, ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. තැන්පතු වලින් 50% කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. අද මොනවද ඒ ව්‍යාපෘතිවලට වෙලා තියෙන්නේ?

දැන් බලන්න කහතුඩුවේ රත්නපුරේට පාරක් හදනවා කිව්වා. ලංකා බැංකුවෙන් ණයක් දෙනවා කිව්වා. බිලියන පහළොවකට අධික ප්‍රමාණයක් ගත්තා. හැදිච්ච පාරක් තියෙනවද? මුල් ගල විතරයි. ඒ සාහසික අපරාධයට කවුද වග කියන්න ඕනේ?

ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු මේ සියලුම දෙනා විසින් තමන් සතුව තිබිච්ච ඩොලර් ආණ්ඩුවට දුන්නා. අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර මිලදී ගත්තා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලදී ගත්තා.

අපි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලන්නේ යුක්තිය. ඒ යුක්තිය ඉටුවෙන්න නම් මේ ණය කප්පාදුව මේ රටේ වැඩකරන ජනතාව මතට, මේ රටේ අහිංසක ගිණුම් හිමියෝ මතට පටවන්න යනවා නම්, පළමුව මේ ආර්ථික අපරාධයට දඬුවම් දෙන්න ඕනේ. අපි එක්සත් ජනරජ පෙරමුණ යටතේ, ආණ්ඩුවකින් පළමුවෙන්ම කරන දේ මොකක්ද? මේ ආර්ථික අපරාධ පිළිබඳ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා, ඉතා කෙටි කලක් ඇතුළත ලංකාව බංකොලොත් කිරීම සඳහා උපදෙස් දීපු අය. ලංකාව බංකොලොත් වීමට අවශ්‍ය කරන තීන්දු තීරණ ගත්ත අය. දේශපාලකයෝ, නිලධාරීන්, නැත්නම් ව්‍යාපාරිකයන් මේ සියලු දෙනාවම අපි අධිකරණයක් ඉදිරියට කැඳවලා දඬුවම් ලබා දෙනවා. එසේ දඬුවම් ලබා නොදී මේ මහා පාපය ජනතාව මත පැටවීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ.

අස්වැසුම වැඩපිළිවෙලට මැදිහත් වුණේ ලෝක බැංකුව. මොකද ලෝක බැංකුව විතරයි මේ දුප්පත්කම ගැන විධිමත් විමර්ශනයක් කරලා තියෙන්නේ. අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 ඉඳන් මේ වෙනකං කිසිම විමර්ශනයක් කරලා නෑ. ඉතින් ලෝක බැංකුවෙන් විමර්ශනයක් කරලා තමයි මේ ටික හොයා ගත්තේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසේ ඉදන් අයදුම්පත් කැදෙව්වා. පවුල් කීයක් සම්බන්ධ වුනාද? පවුල් තිස් හත් ලක්ෂයක් කිව්වා අපිට මේ දීමනාවක් අවශ්‍යයි ජීවත් වෙන්න අමාරුයි කියලා. මොකද දුප්පත්කම ආසන්නයෙන් දෙගුණ වෙලා තිබුණා.

අස්වැසුම වැඩපිළිවෙළ අපට පෙන්නලා දීපු විදිහට නම් පාර්ලිමේන්තුවට පෙන්නලා දීපු විදිහට නම් ඉතා ම විද්‍යානුකූලව මේක හොයා ගත්තා කියලා තමයි අපට නම් කිව්වේ. කෙසේ නමුත් මෙතන යම් පිරිසක් මග හැරිලා තිබෙන බව පැහැදිලියි. ඒ වගේ ම අපි තවත් පිරිසක් ඉන්නවා දේශපාලන හයියෙන් සමෘද්ධිය ගත්ත අය, පාක්ෂිකයෝ හැටියට, ඡන්ද පොල නියෝජිතයා හැටියට සමෘද්ධිය ගත්ත අය. ඒ අය මේකෙන් ඉවත් වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. දේශපාලනමය වශයෙන් යූ එන් පී, ශ්‍රී ලංකා කියලා දීපුවා, කප්පාදු වීම ගැන කිසිම ප්‍රශ්නය අපිට නැහැ. එහෙම කරලා තියෙනවා නම්, ඒකත් එක්ක අපි එකඟයි.

හැබැයි, මේ විදුලි ඒකක 60ට අඩු පිරිසක් ඉන්නවා අලුතෙන් එකතු වුනු, මම මේ කියන්නේ ඔය සංඛ්‍යා ලේඛනය ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒ ඔක්තෝබර් මාසේ, මේ මාර්තු මාසෙයි අතර විතරක් මේ විදුලි ඒකක පැත්තෙන් ගත්තාම අලුතෙන් දුප්පත් වෙච්ච පවුල් ඉන්නවා කීයක්ද? ලක්ෂ පහකට අධික පිරිසක්. මේ මිනිස්සුන්ව මග ඇරිලා ගිහිල්ලා. අලුතෙන් සීඝ්‍රයෙන් දිනපතා දුප්පත් භාවයට පත්වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේක විද්‍යානුකූල ක්‍රමවේදයකට. ඒ වගේම සමෘද්ධි බැංකුවල අනාගතය පැහැදිලි නෑ. සමෘද්ධි බැංකු හරහා තමයි මේ මුදල් දැම්මේ. සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන් දෙසීයකට වඩා. ඒවා තැන් තැන් වල ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඔය භාණ්ඩාගාර බිල්පත් වල එහෙම ආයෝජනය කරලා ඇති. සමහරවිට. මේ දුගීයන්ගේ සල්ලි. එතකොට ඒවට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා.

මොකද සමෘද්ධි බැංකු හරහා තමයි මෙතුවක් කල් මේ සල්ලි දැම්මේ. හැබැයි ජූලි පළවෙනිදා ඉදන් මේ සල්ලි යන්නේ ඕනම බැංකුවක් හරහා. ඉතින් ඒක නිසා ඒ සමෘද්ධි බැංකුවල අවශ්‍යතාව නැතිවෙනවා.

මෙතන වැදගත් අලුතෙන් ඇත්තටම දුප්පත් වෙච්ච මිනිස්සු පිළිබඳව වැඩපිළිවෙලක්, වැඩසටහනක් අවශ්‍යයි රටට. ලෝක බැංකුවේ මැදිහත්වීම නිසා, මේ දීමනාව තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව ගිය අයවැයේ ප්‍රකාශ කරපු ගාන වගේ තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ හයියෙන්. නිසා ඒ නිර්නායකයන්ට අනුකූලවත් වෙන්න ඕන මේ කටයුත්ත. කවර භේදයකින්වත් තොර ව දුගියන් හඳුනා ගැනීමත් ඒ දුගියන් ලැයිස්තු ගත කිරීමත් ඒ වගේම ඒ දුගියන් දුගී භාවයෙන් මිදීම සඳහා යන ගමන් මග පිළිබඳ නිරන්තරයෙන්ම පසු විපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.”

 

Social Sharing
ආර්ථික නවතම