ඇතුලට දාපු නතාෂා, පැනගිය ජෙරොම් සහ ICCPR..!

-කේ. සංජීව-

ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග නිකුත් කර ඇත. නතාෂාට එල්ලවන චෝදනාව වන්නේ බුදුදහමට අපහාසයක් කළ බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය පසුගිය 28 දා අළුයම නතාෂා අත්අඩංගුවට ගනු ලබන්නේ කටුනායක ගුවන්තොටුපළ තුළදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශ කරන ආකාරයට නතාෂාට විරුද්ධව ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇත. මේ අනුව මාධ්‍යවේදී සේපාල් අමරසිංහට පසු අයිසීසීපීආර් අලුත්ම බිල්ල නතාෂා ය. භාෂනයේ සහ ප්‍රකාශනයේ අයිතිය අයිසීසීපීආර් පනතට ඉහළින් තිබෙන බව නීති තර්ක ඉදිරිපත් වුණත් භාෂනයේ සහ ප්‍රකාශනයේ අයිතිය නැවත වතාවක් කුණුකූඩයට වීසිකර දමන්නට ලංකා පොලීසිය කටයුතු කර ඇත.

මෙම පනත ලංකාව තුළ දිගින් දිගටම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන පසුබිමක පොලීසිය ප්‍රකාශ කරනේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් ඔස්සේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවය. මෙම පැමිණිල්ලට පිටතින් තවත් පැමිණිලි 08ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

නතාෂා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව මේ වනවිට මෙම මතබේදයට තුඩුදුන් ප්‍රහසන වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වන හසලක තුෂාර ද අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු රටින් පිටවීම සඳහා පැමිණියහොත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නැයි ගුවන්තොටුපළ පොලීසියට උපදෙස් නිකුත්වී ඇත. ඒ අනුව ඔහුද අයිසීසීපීආර් පනත යටතේම රක්ෂිත බන්ධනාගාරයට යැවෙනු ඇතැයි උපකල්පනය කළ හැකිය. ඒ පොලීසිය සහ ආණ්ඩුවේ ඉහළ බලය ලත් නිළධාරීන් මේ සිද්ධිය අරඹයා ක්‍රියාත්මක වෙන ආකාරය අනුවය.

මීට ආසන්න දිනයකදී ජෙරොම් නම් දේවගැතිවරයාටද මෙවැනිම චෝදනාවක් එල්ලවූ අතර ඔහු රට අතහැර ගිය පසු පොලීසිය ප්‍රකාශ කළේ දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නට නියමිතව සිටියදී ඔහු රටින් පළාගොස් ඇති බවය. කිසිම පුද්ගලයෙක් අරඹයා මෙම පනත අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියාත්මක කරනවට විරුද්ධ මෙම ලියුම්කරු ප්‍රශ්න කරන්නේ ජෙරොම්ට ක්‍රියාත්මක වූ අත්අඩංගුවට ගැනීමේ නීතිය නතාෂාට විරුද්ධව ක්‍රියාත්මක වුණේ කෙසේද යන්නයි.

මෙයින් පෙනෙන්නේ අසරණ සහ දේශපාලන මුදල්මය බලයක් නොමැති පුරවැසියන්ට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙන නීතිය සල්ලි සහ දේශපාලන බලය ඉදිරියේ මන්දගාමී බවය. පසුගිය දා නීති විරෝධීව රත්ත්‍රන් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ ආකාරය රටම දැක්ක අතර දැන් අනාවරණය වී තිබෙන්නේ මේ පුද්ගලයා තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී රත්‍රන් ජාවාරකම බොහෝ කාලයක සිට නිරතව සිට ඇති බවයි. ඒ ඉහළ දේශපාලකයන්ගේ අනුදැනුම සහ අනුග්‍රහය යටතේ වන්නට ඇත. ලංකාවේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ මෙසේය. මෙවැනි තත්ත්වයක් යටතේ නතාෂා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම කෙසේවත් අනුමත කළ නොහැකිය.

නතාෂා හෙට වරද පිළිගෙන සමාව ගෙන නිදහස්වී පැමිණිය හැකිය, එහෙත් මේ ලියුම්කරු ප්‍රකාශ කරන්නේ මේ පනත අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා විසින් වහාම පියවර ගත යුතු බවය. එය එසේ නොවෙන තාක් දේශපාලන විරුද්ධවාදීන් මෙසේ දඬුවමට ලක්වෙනු ඇත. හිරිහැරයට වධයට සහ බිය ගැන්වීමට ලක්වෙනු ඇත.

Social Sharing
නවතම විශේෂාංග