අන්තරයේ ගැටලුව

– කරු පරණවිතාන –

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර තනතුර සම්බන්ධයෙන් දැන් උද්ගත වී තිබෙන අර්බුදය යහපත් ලෙසින් විසඳාගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට එකඟවෙමින් මිස අන් අයුරකින් නොවේ. ශිෂ්‍ය දේශපාලනයේ නියුතු වත්මන් සිසුන් මෙන්ම ඒ ගැන උනන්දුවන සියලුම බාහිර දේශපාලන පාර්ශ්වද මේ කරුණ සම්බන්ධයෙන් ශිෂ්‍ය ප්‍රජාව දිරිමත් කළ යුතුය.

“ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට පමණක් ප්‍රජාතන්ත්‍රවාදී වන්නට කියන්නේ මන්ද” යනුවෙන් ව්‍යාජ රැඩිකල් ප්‍රශ්න නඟන උදවිය එසේ කරන්නේ සිසුන්ගේ ජිවිත පිළිබඳව හා සරසවි පද්ධතියේ යහපැවැත්ම ගැන අබමල් රේණුවකවත් හැඟීමකින් නොවන බව වටහා ගත යුතුය.

අපගේ අද්දැකීමක් මෙහිලා ප්‍රයෝජනවත් වේ යැයි සිතා සඳහන් කරමි. 1988-89 භීෂණ යුගයෙන් පසු 1990 දී නැවත සරසවි විවෘත කර ශිෂ්‍ය ව්‍යාපාරය සක්‍රිය වෙද්දී අවිශිබම නැවත ගොඩ නගන ලදී.

එහි ව්‍යවස්ථාව සකස් කිරීමට මම ද දායක වුනෙමි.

ඒ ව්‍යවස්ථාව අනුව අන්තරය නියෝජනය වන්නේ ඒ ඒ සරසවි වල සිසුන්ගේ ඡන්දයෙන් පත්වන නිළ ශිෂ්‍ය සභා නියෝජිතයන්ගෙනි. තීරණ ගන්නේ ඡන්දයෙන් නොව එකඟතාවෙනි. කැඳවුම්කරු පත් කිරීමද ඒ අනුවය.

ඇතැම් බහුතර මතයකට එකඟ නොවන ශිෂ්‍ය සභාවකට ඒ කරුණ සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ස්වාධිනව කටයුතු කිරීමේ නිදහස ඇත. (එකල එසේ සිදුවිය). නිළ ශිෂ්‍ය සභා නැති සරසවි වල ඒවා පිහිටුවීමට අවිශිබම හැකිතාක් මැදිහත් වී කටයුතු කරයි.

ශිෂ්‍ය සභාවල බලය නොතිබුනද දේශපාලන වශයෙන් සංවිධානය වී සිටින අවශේෂ ශිෂ්‍ය කණ්ඩායම් වලට අන්තරය නියෝජනය කළ හැකිද යන්න එකල පැන නැඟුන ප්‍රශ්නයකි. එවැනි නිියෝජනයකට එදා අප කිහිප දෙනෙක් විරුද්ධ වූයේ එහි යහපත් ප්‍රතිපල වලට වඩා හානිකර ප්‍රතිපල වැඩි බැවිනි. මේ ව්‍යවස්ථාව සකසා ගැනීමට අප අතර බොහෝ වාද විවාද ඇති වූ නමුත් පසුව කාගෙත් එකඟතාව ඉහත මූලධර්ම සඳහා ලබාගත හැකිවිය. ඒ අනුව ඉහති කී මූල ධර්ම වලට අනුව එදා සැදූ ව්‍යවස්ථාවට අනුව අවිශිබම යනු නිල ශිෂ්‍ය සභාවලින් සමන්විත ෆෙඩරේෂණයකි. (මේ ව්‍යවස්ථා⁣වේ අතින් ලියන ලද පිටපතක් 1990න් පසු ප්‍රථම කැඳවුම්කරු වූ වෛද්‍ය සුදත් අලහකෝන් මහතා ළඟ ඇතැයි මම සිතමි)

නමුත් 1990 දශකයේ අගභාගය වනවිට මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා පදනම අවිශිබම විසින්ම වෙනස් කරන ලද බව මාගේ වැටහීමය. අද අව්ශිබම තුළ පවතින අර්බුදයටත් එම වෙනස්කිරීම හේතුවී ඇති බවට සැකයක් නැත. වත්මන් ව්‍යවස්ථාව ප්‍රසිද්ධ කිරීම වත්මන් අවිශිබම නායකත්වයේ යුතුකමකි.

පසුගිය වසරේ ක්‍රමයේ වෙනසක් ඉල්ලා අවිශිබම සිසුහු පෙරමුණේ ‘අරගලය’ තුළ අරගල කළහ. රටේ එම වෙනස තවම සිදු වී නැතත් ආදර්ශයක් වශයෙන් සරසවි පද්ධතියේ ප්‍රධාන ශිෂ්‍ය නියෝජන ෆෙඩරේෂණය සඳහාවත් ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් සාදා රටට ආදර්ශයක් දීමට වත්මන් ශිෂ්‍ය ක්‍රියාකාරින් කටයුතු කරනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.

 

Social Sharing
නවතම විශේෂාංග