අත්දැකීම් සහිත පිරිසක් සහ තරුණයින් අතර බලගතු සන්ධානයක් රටට අවශ්‍යයි..! – පාඨලී චම්පික රණවක

Patali Champika Ranawaka Bankruptcy of the country

-කේ. සංජීව-

මේ වෙනකොට ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ විශාල ප්‍රමානයක් තිබෙනවා. මිනිස්සු අහන්න පුරුදු වෙලා ඉන්නේ ඇයි අපිට තවත් දේශපාලන පක්ෂ මොකටද කියලා. මෙන්න මේ තත්ත්වය අස්සේ ඇයි අලුත් දේශපාලන පක්ෂයක් හදන්න හිතුවේ ඇයි?

ඇත්තටම මැතිවරණ කොමසාරිස්තුමා කියන විදිහට ලියාපදිංචි පක්ෂ 76 ක් තියෙනවා. රට බංකොළොත් වීමත් සමග රටේ අසාමාන්‍ය තත්ත්වයක් උදාවුණා. ඒකේ ප්‍රථිපලයක් විදිහට තමයි වෙනදට මහජන ඡන්දයෙන් ගෙදර යන ආණ්ඩුවක් මහජන උද්ඝෝෂණයකින් ගෙදර ගියේ. ඉතිං දැන් අපේ ක්‍රමයේ බිඳවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතෙක් පවත්වාගෙන ආපු මේ ක්‍රමයේ බිඳවැටීම නවත්වාගෙන මේ රට නැවත ගොඩනැගීම සඳහා එක එක විදිහේ යෝජනා ඇවිත් තිබෙනවා.

සමහරු කියනවා පවත්නා ක්‍රමයට එකතුවෙලා ඉස්සරහට යමු කියලා. තවත් අය කියනවා සාම්ප්‍රදායික පක්ෂ වෙනස් කරගෙන යමු කියලා. ඒ වගේ අදහස් උදහස් ගොඩක් තිබෙනවා. අපි හිතනවා මේ වෙලාවේ මේ රටේ තරුණ පරම්පරාවට (විශේෂයෙන්) ඉස්සරහට යන්න වේදිකාවක් අවශ්‍යයි කියලා. මේක රට බිඳ වැටීමෙන් උපන් ව්‍යාපාරයක්. මේක රට ගොඩනගන ව්‍යාපාරය.

පසුගිය අරගලයෙන් පස්සේ, අරගලයේ සක්‍රීයව හිටපු තරුණ පරපුරේ නායකයන් මේ වනවිට නව දේශපාලන ව්‍යාපාරයන් බිහි කරමින් සිටිනවා. ඔවුන් එහිදී ප්‍රකාශ කරන්නේ තමන් අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. සිස්ටම් චේන්ජ් එකක් ගැන තමයි ඔවුන් කතාකරන්නේ. මෙන්න මේ නව සාකච්ඡාව ඇතුලේ එක්සත් ජනරජ පෙරමුණේ ගමන් මඟ කුමන දිසාවකට ද?

අරගලයේ නායකයෝ අපි තමයි කියලා සමහරු පෙනී සිටියාට, අරගලය කියන්නේ ඇත්ත වශයෙන්ම තමන් වෙතට ආපු මහා උද්වේගකර අනුවේදනීය සිදුවීම් ජාලයකට සමස්ථ සමාජයක් දැක්වූ ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුලුවන්. ඒක ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි සිදුවුණේ. මීට පෙර තරමකට මේ හා සමාන සිදුවීමක් 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව රට තුළ ඇතිවුණා.

ඔවැනි අවස්ථාවලදී සංවිධානාත්මක දේශපාලන පක්ෂවලට පුලුවන් වෙන්න ඕනෑ ඒ ක්‍රියාවලිය, පාර්ලිමේන්තුව තුළට, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළට අරගෙන ගිහිං සමාජය ඉල්ලන පරිවර්තනය සිදුකරන්න. නමුත් මේ අරගලය අස්සේ අපේ දේශපාලන පක්ෂ අසමත් වුණා. අපිට බැරිවුණා සමාජය ඉල්ලපු පරිවර්තනය සඳහා සාම්ප්‍රදායික පක්ෂ විදිහට මැදිහත් වෙන්න. ප්‍රධාන විපක්ෂය ඇතුලු පක්ෂ ඇත්තටම අසාර්ථක වුණා අරගලයෙන් ඉල්ලපු ඒ ප්‍රථිසංස්කරණ ඉස්සරහට ගෙනියන්න. මොකද්ද ඒ නොහැකියාවට හේතුව? ඒ හේතුව තමයි ඔවුනුත් මේ සාම්ප්‍රදායේම කොටස්කරුවන් වීම. අන්න ඒනිසා තමයි අරගලයේ ඵල සමාජයක් විදිහට අපිට නෙළාගන්න බැරිවුණේ.

ඉතිං තරුණයෝ පක්ෂ පටන් ගන්න එක හොඳයි. ළඟදි තායිලන්ත‍ය පැත්තෙනුත් අපිට හොඳ සංඥාවක් ලැබුණා. ඉතිං තරුණයෝ දේශපාලනයට එන්න ඕනෑ. අපි ඔවුන්ට සුබ පතන්න කැමතියි. අපේ ක්‍රියාවලිය වන්නේ අත්දැකීම් සහිත පිරිසක් සහ නව තරුණ පිරිසක් අතර ඇතිවෙන බලගතු සන්ධානයක් මගින් රට පරිවර්තනයකට යොමු කිරීම. මේ නව පක්ෂයේ ප්‍රධානම බලාපොරොත්තුව ඒක කිව්වොත් හරී.

ඔබ විශ්වාස කරනවාද ඊළඟ ජනාධිපතිවරණයේදී අරගලයේ ඉල්ලීම් ජයග්‍රහනය කරන්න පුලුවන් ජනාධිපතිවරයෙක් බිහිවෙයි කියලා..

ජනතාව කෙළින්ම පාරට බැහැලා සජු ක්‍රියාමාර්ගයක් මගින් රටේ ජනාධිපතිවරයෙක් සහ සාම්ප්‍රදායික දේශපාලන බලවේගයක් පළවාහැරියා. අද මහජනයා නිහඬයි. ඒ නිහඬබව අඟවන්නේ නෑ මේ පවත්නා ක්‍රමය ඔවුන් අනුමත කරනවා කියලා. ඒක තමයි ලෝකයේ ස්භාවය. ඒක මතුවෙන්නේ යම් නිශ්චිත අවස්ථාවක. ඒක ඊළඟ ජනාධිපතිවරණයේදී මතුවෙන්න පුලුවන්. ඒ නිසා කවුරුවත් තමන් ගැන අධිතක්සේරු ඇති කරගත යුතු නෑ.

ආණ්ඩුව අධිතක්සේරු ඇති කරගත යුතු නෑ අපි තාවකාලිකව ප්‍රශ්නය විසඳුවා ඒ නිසා ජනතාව අපි එක්ක ඉන්නවා කියලා. 69 ලක්ෂය ආපහු එන්නේ නෑ. විපක්ෂය අධිතක්සේරුවක් ඇති කරගතයුතු නෑ, අපි තමයි විපක්ෂය දැන් කළකිරුණු ජනතාව අපිට ඡන්දය දෙයි කියලා.

එහෙම දෙයක් නෑ මොකද ක්‍රමය බිඳ වැටිලා තියෙන්නේ. ඒ නිසා බොහෝවිට ඉඩක් තිබෙනවා, ඊළඟ ජනාධිපතිවරණයේ දී මේ අරගලයෙන් මතුවුණ ඒ දේශපාලන ප්‍රතිරාවය, නැතිනම් ඒ දේශපාලන හඬ නිවැරදි පරිවර්තනයක් දෙසට ගෙනියන්න පුලුවන් ජනාධිපතිවරයෙක් බිහිවෙන්න. මේ අවස්ථාවේ අපි මේ පවතින තත්ත්වය අවස්ථාව කරගන්න ඕනෑ අපේ ආර්ථිකය නැවත ප්‍රථිනිර්මානය කරගන්න. ඒ විතරක් නෙවෙයි රී බේස්ඩ් කරගන්න. එහෙමත් නැත්තං නැවත අත්තිවාරම වෙනස් කරගන්න.

ඊළඟට අපි මේක යොදාගන්න ඕනෑ රාජ්‍ය අංශය පූර්ණ ප්‍රථිසංස්කරණයකට සහ ප්‍රථිසංවිධානයකට ලක්කර ගන්න. ඊළඟට අපි මේක යොදාගන්න ඕනෑ පුද්ගලික අංශය කිසියම් විදිහක යෝධ පරිවර්තනයකට ගෙනයන්න. ඒ වගේම දේශපාලන සංස්කතිය, දේශපාලන පක්ෂ ක්‍රමය, සම්පූර්ණයෙන්ම පරිවර්තනයක් කරගන්න, පුනුරුත්ථාපනයක් කරගන්න, අපි මේ අවස්ථාව යොදාගන්න ඕනෑ.

අපි ජාතික ප්‍රශ්නය විදිහට හඳුනාගන්නා උතුරු නැගෙනහිර ප්‍රශ්නය ගැන මේ නව පක්ෂයේ ස්ථාවරය කුමක්ද?

අපි බොහොම පැහැදිලිව කියන්න ඕනෑ වෙන්වී යාමේ ප්‍රවනතා මූලික කරගත්ත අනන්‍යතා දේශපාලනය අපිත් කළා, ඒවට දැනුත් සමහර අය උත්සාහ කරමින් ඉන්නවා, ඒවායින් මේ රටට කිසිඳු ප්‍රයෝජනයක් නැහැ. මේ රටේ අපි ක්‍රමයක් හදන්න ඕනෑ, උතුරේ කුසලතා පූර්ණ කෙනෙකුටත්, නැගෙනහිර කුසලතා පූර්ණ කෙනෙකුටත්, රටේ ජනාධිපති ධුරය දක්වා යා හැකි දේශපාලන සංස්කතියක් ගොඩනගන්න. ඒක තමයි අපේ අරමුණ.

දෙමළ ජනතාව අතරින් පහළ වෙන කුසලතා පූරණ මිනිස්සු කල්පනා කළ යුතු නෑ, අපි උතුරට වෙනම රටක් හදාගත යුතුයි කියලා. ඔවුන් හිතන්න ඕනී ලංකාවෙම නායකයා වෙන්න තමන්ට පුලුවන් කියලා. ඒක අපි මේ නිකන් කියනවා නෙවෙයි. අපි ඒ සඳහා දේශපාලන සංස්කතියක් හදන්න ඕනෑ. ඒක කරන්න පුලුවන් දෙයක්. අපි ඒක කරනවා.

එහෙම කිව්වට වැඩක් නෑනේ ඒ සඳහා මාර්ගයක් තියෙන්න ඕනෑ. මොකද්ද ඒ මාර්ගය..

ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා කුසලතාවයට තැන දෙන්න. ඒ වගේම එක එක මතවාදවල එළඹිලා ඉන්නේ නැතුව, ප්‍රශ්නයකට යම් විසඳුමක් තිබෙනවා නම්, ඒ විසඳුම ධනවාදී ද සමාජවාදී ද ජාතිකවාදී ද කියලා හිතන්නේ නැතුව, එම විසඳුම ක්‍රියාත්මක කරන ප්‍රායෝගිකවාදි ක්‍රියාදාමයකට එළඹීම තමයි අපේ ක්‍රමය. ප්‍රායෝගිකත්වය වගේම කුසලතාවාදයත් උපයෝගී කරගෙන මේ දේශපාලන පරිවර්තනය කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

නීතියේ පාලනය සම්පූර්ණයෙන් බිඳවැටිලා, දූෂණය ඉහවහා ගිහිං, මේකට දෙන උත්තරය කුමක්ද මේ නව පක්ෂය හරහා..

බොහොම පැහැදිලිව කියන්න ඕනෑ මේවා රටක ආර්ථික සමුර්ධියේ පූර්ව කොන්දේසි මිසක්, මේවා ආර්ථික සමුර්ධිය සඳහා තිබෙන උපායමාර්ගයන් නෙවෙයි කියන දේ. අපේ රටේ ලොකු වැරැද්දක් ඇති කරගෙන තිබෙනවා වංචා දූෂණ නතර කරපු ගමන් රට සංවර්ධනය වෙනවා කියලා. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා කියලා. රට නීතියේ ආධිපත්‍ය මත පිහිටවපු පමණින්ම රට දියුණු වෙනවා කියලා අපි හිතනවා. නෑ ඒ සිතුවිල්ල වැරදියි. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ අය හොරකම් කරනවා කියලා මම හිතන්නේ නෑ, හැබැයි ඒ රට දියුණු නෑ. ඒවා පූර්ව කොන්දේසි විතරයි.

පූර්ව කොන්දේසි සහ ධන උත්පාදන උපායමාර්ග අතර තිබෙන වෙනසවත් දන්නේ නැතිව තමයි මේ ගොඩක් අය කතා කරන්නේ. ඒ නිසා අපි පිළිගන්නවා පූර්ව කොන්දේසියක් විදිහට රාජ්‍ය ස්ථාවර සහ යුක්තිසහගත රාජ්‍යක් බවට පත් කරගැනීම. ඒක අපි කරනවා. දැන් දූෂණයෙන් තොරව අමාත්‍යාංශ කරන්න ගිහිල්ලා මට ලැබුණ අත්දැකීම් අනුව මම කියන්නේ ලංකාවෙ දුෂිත ක්‍රියාදාමය ආයතනගත වීමේ ස්වරූපයක් තිබෙනවා. රාජ්‍ය අල්ලා ගැනීමේ ස්වරූපයක් තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් දේශපාලකයෝ විතරක් නෙවෙයි මේක කරන්නේ, මෙතන ඉන්නවා නිළධාරීන් කල්ලියක්, මෙතන ඉන්නවා මේකට ඇප උපකාර කරන ව්‍යාපාරික කල්ලියක්, මේ තුන්ගොල්ලන්ගේම සංයෝගයෙන් තමයි මේ අනුචරවාදය නැතිනම් සහචරවාදය Clientelism ගොඩනැඟිලා තියෙන්නේ. කාලයක් ඔය Clientelism කියන එක පාවිච්චි වුණේ ජපානය, සිංගප්පූරුව වගේ, කාලාන්තරයක් එක පක්ෂයක් මගින් පාලනය වෙන රටවල්වල, ඒ පාලන ව්‍යුහය හඳුනාගන්න. නමුත් දැන් ඒ Clientelism කියන එක හඳුනාගන්නේ දකුණු අප්‍රිකාවේ එහෙම තිබෙන අත්දැකීම් අනුව. මේ සහචරවාදය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ චෞරයෝ සහ චෞරයෝ රැලක් සමග. ඒකට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිළධාරීන් වුණත් එකතුවෙන්න පුලුවන්. රාජපක්ෂලා කරපු දේ තමයි මේකට ආරක්ෂක හමුදා ගාවා ගැනීම. අපිට ඔය බංගලිදේශය, පාකිස්තානය, බුරුමය වගේ රටවල්වලින් ඒ අත්දැකීම ලැබෙනවා. ඔවුන් ඒ තත්ත්වයට යන්න උත්සාහ කළා.

මෙන්න මේ තත්ත්වයන්ගෙන් මේවා මුදාගෙන, අර දේශපාලන ක්ෂෙත්‍රයේ පරිවර්තනයක් වගේම, රාජ්‍ය නිළධාරීන්ගේත් පරිවර්තනයක් කිරීම අත්‍යාවශ්‍යයි. ව්‍යාපාරිකයන් අතරේ මේ ජාවාරම්කාරයින් වෙනුවට ව්‍යවසායදායකත්වය ඇති කරන්න ඕනෑ. වැඩ කළොත්, නව නිර්මාන කළොත් තමන්ට හම්බ කරන්න පුලුවන් කියන විශ්වාසය ව්‍යාපාරිකයන් තුළ ඇති කරන්න ඕනෑ. ඒක නැති එක තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්නය.

ඔය කීව සහචරවාදය පක්ෂ ඇතුලෙත් තිබෙනවා, හදන අලුත් පක්ෂය ඒකෙන් මුදාගන්න වැඩපිළිවෙලක් තිබෙනවාද?

මේ පක්ෂයේ ඔටුනු පළන්ඳවන්න කුමාරයෝ හෝ කුමාරිකාවෝ නෑ. මේ පක්ෂයේ වෙන්ඩ ආර්‍යාවෝ නෑ. ඒ වගේම පිටුපස්සෙන් සල්ලි මලු අරගෙන එන දේශපාලන මුග්ධයෝ නෑ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. දේශපාලනයේ ඉස්සරහට යන්න අවශ්‍ය ඕනෑම තරුණයෙක්ට හෝ තරුණියක්ට පවුල් පසුබිම් වලින් තොරව අපි එක්ක එකතුවෙන්න පුලුවන්. ඒ සඳහා නිදහස් අවකාශයක් තමයි අපි මේ නිර්මානය කරන්නේ. මේක විවුර්ත බිමක කරගෙන යන දෙයක්. මේ විවුර්තභාවය අස්සේ ඩීල් නෑ ගේම් නෑ ඩ්‍රාමා නෑ. ඒ අර්ථයෙන් අපී අතීතයෙන් කැපී වෙන් වුණ ව්‍යාපාරයක්.

ගොඩක් අය කියන්න පටන් අරගෙන ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනවරමින්ම ජනාධිපති වෙයි කියලා. ඔබගේ අදහස මොකද්ද?

සැප්තැම්බර් මාසේ එනකොට එතුමා ඉස්සරහා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අයි එම් එෆ් ආයතනයේ පළවෙනි රිවීව් එක එනවා සැප්තැම්බර්වල. ඒ රිවීව් එකට පෙර එතුමාට සිද්ධ වෙනවා විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන සැළැස්ම ඉදිරිපත් කරන්න. දැන් මේ සැළැස්මේ දී අභියෝග දෙකක් තිබෙනවා, එකක් තමයි ඇතැම් රටවල් ලෝක බැංකුව, මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශවීය ආයතනවල ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලලා තිබීම.

දැනට පවතින ගෝලීය මූල්‍යධන නිර්මිතය ඇතුලේ, ග්ලෝබල් ෆයිනෑන්ෂල් ආකිටෙක්චර් කියලා අපි කියන දේ අස්සේ, ඒ ගෝලිය නිර්මිතය ඇතුලේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවීය ආයතනවල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ. ඒ කියන්නේ කපාහරින්නේ නෑ, සමහර රටවල් කියනවා නෑ ඒක කපාහරින්න ඕනෑ කියලා. මේ කඬුල්ල කොහොමද පනින්නේ කියලා ජනාධිපතිවරයා ඉස්සරහා විශාල අභියෝගයක් තිබෙනවා.

ඊට වඩා අභියෝගයක් තිබෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම, ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් සහා භාණ්ඩාගාර බැඳුන්කර. මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ, මහා බැංකුව විසින් පවත්වාගෙන යන භාණ්ඩාගාර බිල්පත්, ඒක බිලියන 2800ක්, ආසන්නයේ අනෙක් ණය එක්ක ගන්නකොට බිලියන 3000ක්. ඊළඟට අපිට තියෙනවා ලංකා බැංකුව, මහජන බැංකුව වගේ බැංකු පද්ධතිය විසින් ආණ්ඩුවට දීපු ණය. ඒකත් තියෙනවා ආසන්න වශයෙන් බිලියන් 4000ක් විතර. ඊළඟට අර්ථසාධක අරමුදල වැනි ආයතනවල ධනය, ඒකත් තියෙනවා බිලියන 3500ක් විතර. මේ තුන්ගොල්ල තමයි ට්‍රිලියන් 13ක් පමණ වෙන ණයේ ප්‍රධාන අයිතිකරුවන්. තව ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ ණය කපාහැරීමේ සැළසුම මොකද්ද? අපි මේ ණය කපාහරින්න ගියොත් මොකද වෙන්නේ? සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ? ඒකේ දායකත්වය ලබපු අසරණ අහිංසක වතු කම්කරුවන්ට ඇඟළුම් කම්හල් සේවිකාවන්ට මොකද වෙන්නේ? බැංකු තැම්පත්කරුවන්ට මොකද වෙන්නේ? බැංකු තැම්පත්කරුවෝ මිලියන 14ක් ඉන්නවා. රටේ ජනතාවගෙන් 70%ක්. මෙයාලට මොකද වෙන්නේ?

මේවා ඉතාමත් බරපතළ ප්‍රශ්න. මේක හරියට ගිනි ගන්න ගුවන් යානයක් බිමට බානවා වගේ වැඩක්. එක්කෝ යානය අහසෙම පුපුරලා යන්න පුලුවන්, නැත්තං බිම වැදිලා ක්‍රෑස් වෙන්න පුලුවන්. පරිස්සමට මේක බිමට බාගන්න ජනාධිපතිතුමාට පුලුවන් වෙයිද? ඒ මත ඔහුගේ ඉරණම තීරණය වෙනවා.

මූල්‍ය අරමුදල ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ පළවෙනි මාස හය ඇතුලත අපි ගත්ත ප්‍රගතිය අනුව සහ ඉහත ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මත. ඉතිං ඒක අසාර්ථක වුණොත් ගිය අවුරුද්දේ ඇතිවුණ සිදුවීම් මේ අවුරුද්දේ සැප්‍තැම්බර් ඇති වෙන්න පුලුවන්.

උපුටාගැනීම – අනිද්දා ජාතික පුවත්පත

 

Social Sharing
නවතම සාකච්ඡා