සුළං කපොල්ලේ ජීවිත සොයාගෙන යාම..!

-කේ. සංජීව-

මනල් ආරු හෙවත් මනලාරු, නයාරු කලපුවෙන් මුහුදුට එකතු වෙන ගංගාවක්. මේ ගංගාවට නයාරු ගඟ කියත් කියනවා. වැලිඔය කියන නම හැදෙන්නේ මේ ගංගාව නිසා. දෙමළ භාෂාවෙන් මනල් කියලා කියන්නේ ‘වැලි’ වලට. ආරු කියන්නේ ‘ඔය’. එතකොට මනලාරු සිංහලෙන් වැලිඔය වෙනවා. මනල් ආරු ගංගා ද්‍රෝනියේ පිහිටි මේ බිම වැලිඔය විදිහට සිංහලකරණය වෙන්නේ 1970 දශකයේ අග කියලා තමයි කටවහර.

ඉතිං පදවිය වැව් ඉසව්ව පැනලා මම ආයෙත් සැරයක් මේ බිමට ගියා. කෝවිඩ් වසංගතයට සහ ආර්ථික අර්බුදයට පස්සේ මේ බිමේ මිනිස්සුන්ගේ ජීවිතය කොහොමද? මේ සංචාරයේ අරමුණ, ඒ ගැන සෙවීම.

1970 දශකයට පෙර මේ බිමේ වැඩි වශයෙන් තිබිලා තියෙන්නේ දෙමළ ව්‍යාපාරිකයන් සතු ගොවිපළ. ඊට අමතරව දෙමළ ජනපද තිබුණා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිරකරුවන් යොදාගනිමින් මේ සිංහල ගම්කොලනිය පටන්ගත්තා කියලා කියනවා. 1980 දශකයේ අගබාගය වෙනකොට එවකට ආමාත්‍යවරයෙක් වන ගාමිණී දිසානායගේ ප්‍රධානත්වයෙන් කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ මැදිහත්වීමෙන් මේ සිංහල ගම්කොලනිය තවත් විශාල වෙනවා.

1984 අතීතය

‘මම ලලිත් පියවංශ, මම මෙහාට්ට ආවේ 1984. එනකොට වයස අවුරුදු 04යි. කුරුනෑගල ඉඳලා ආවේ. මෙහේ ඇවිත් ඇහැටුගස්වැව පදිංචි වුණා. 1989 පස්සේ තමයි යුද්ධෙ හොඳටම තිබුණේ. 1997 තමයි හංසවිල ගම්මානයම කැපුවේ. ඊට පස්සේ මිනිස්සු ආපු ගම්වලටම ගියා. 28ක් 29ක් වගේ තමයි මේ ගම්මාන දෙකේම හිටියේ. අපි දාලා ගියේ නෑ අපිට යන්න තැනක් නැති නිසා’ ලලිත් පියවංශට තවමත් කිසි දෙයක් නෑ. 1984 ආවාට වඩා ටිකක් හොඳ බවනම් පේනවා. ඒත් මේ බිමේ ඇත්ත ඒක තමයි.

වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වවුනියා, මුලතිව්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලට මැදිවෙච්ච ග්‍රාම නිළධාරී කොට්ඨාශ 09 කින් යුතුයි. පරිපාලනය සිදුවන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව මුලතිව් කෝකිලයි සිංහල ජනපදයට පසු එකම සිංහල ගම් කොලනිය විදිහට වැලිඔය හඳුනාගැනීම නිවැරදියි.

මේ පරිපාලනමය පිහිටීම එක්ක දැන් තමයි මේ මිනිස්සු හොඳටම දුක් විඳින්නේ. උතුරේ දෙමළට තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා අහන දකුණේ කළු සිංහලයන්ට කියන්න තියෙන්නේ ‘උබලා ඇවිත් වැලිඔය සිංහලයන් ගෙන් අහපල්ලා මුලතිව් වල ඉන්න උබලට තියෙන ප්‍රශ්නය මොකද්ද’ කියලා. එතකොට තේරෙයි මේ භාෂා ප්‍රශ්නය නිසා සහ හිත් ඇතුලේ කැකෑරෙන ජාතිවාදය නිසා තවමත් සිංහල දෙමළ මේ හැවෝම විඳින දුක.

වැලිඔය සිංහල වීමේ ප්‍රශ්නය

‘මම ආර් ඒ වීරකෝන්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදිහට මුහුදු බඩ පත්තුව නියෝජනය කළා පහුගිය කාලේ ශ්‍රීලනීපයෙන්. ඒවගේම මම ශ්‍රීලනීපයේ හිටපු මුලතිව් සංවිධායකයා. දැන් නම් මට දේශපාලනය තිත්ත වෙලා. ඉතිං මම දැන් ටිකක් දේශපාලනයෙන් අයින් වෙලා. ඒත් මම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තවමත් වැඩකරනවා. මෙහේට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනය. මුල් ළමාවිය සංවර්ධනයේ ඉඳලා නිසි අධ්‍යාපනයක් නෑ. මුලතිව් වලට තියෙන එකම සිංහම විද්‍යාල 7න් 6ක් ම තියෙන්නේ වැලිඔය කියන මේ කලාපයේ. ඒත් මෙහේ දෙමළ ප්‍රාදේශීය පරිපාලනයේ කුඩම්මාගේ සැලකිල්ල නිසා අපි හරියට දුක් විඳිනවා. උදාහරණයක් කියන්නම්, ගිය පාර විද්‍යා පීඨ ගැසට් කරලා ඇප්ලිකේෂන් කැඳවූවාම වැලිඔය සීරෝ. මම හොයලා බැලුවා, ආණ්ඩුකාරවරයාගේ ඉඳලා උඩට කතා කළා, එහෙම කතා කරලා තමයි මෙහේ ළමයින්ට චාන්ස් එක අරගෙන දුන්නේ.

මෙහේ ආර්ථික තත්ත්වය ගත්තොත් සිවිල් ආරක්ෂක බලකායේ වැඩකරන පවුල් විතරයි තුන්වේල කන්නේ. අනෙක් හැමපවුලම දැන් එක වේලයි කන්නේ. මෙහේ මිනිස්සුන්ට ළමයි ඉස්කෝලේ යවන්න සල්ලි නෑ. ඩෙස් පුටු අරන් දෙන්න සල්ලි නෑ. ඒත් අපි සහනාධාර ඉල්ලන්නේ නෑ. මේ වැලිඔය සංවර්ධනය කරනවා නම් ඕනී තරම් දේවල් තියෙනවා කරන්න.’

මහවැලිය එල් කලාපය

නුවරකලාවියේ එක සීමාවක් වෙන පදවිය වැව ආශ්‍රයෙන් ගොවි ජනපදයක් 1950 දශකයේ බිහිවෙනකොට මේ බිම ඔවුන් හඳුනා ගත්තේ ‘එගොඩ’ කියලා. 1984 ජූනි මාසයේ දිඹුලාගල හාමුදුරුවෝ රැගෙන ආ පිරිසක් නිකවැව හා ඇතාවැටුණුවැව ගම්මානවල තාවකාලික පැල්පත් හදලා පදිංචි කරවීම සිදුවෙනවා. ඔවුන් තමයි වැලිඔය ව්‍යාපාරයේ ලේඛනවල හමුවෙන මුල්ම සිංහල පදිංචිකරුවන්.

1984 අගෝස්තු 15 වැලිඔය ජනපද ව්‍යාපාරයක් විදිහට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒ සමගම මේ බිම, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතට පත් කෙරෙනවා. 1984 අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඇහැටුගස්වැව, කල්‍යාණපුර ගම්මානත්, 1985 ජනවාරි වෙනකොට ගජබාපුර, මොණරවැව, කල්‍යාණපුර තුන පියවරත්,1988 ජනකපුරත් ආරම්භ වෙනවා. 1988 අප්‍රේල් මසයෙන් පස්සේ මේ බිම මහවැලි එල් කාලාපය යටතට පවරා ගන්නවා. ඒත් මේ බිමට මහවැලියෙන් දියවර සැපයෙන්නේ නෑ. තවමත් මේ බිමේ මිනිස්සු වර්ෂා ජලයෙන් තමයි ගොවිතැන් කරන්නේ.

ලලිත් පියවංශ

‘ මෙහේ සිංහල මිනිහෙක්ට දේශපාලනය කරන්නවත් අවස්ථාවක් නෑ. වව්නියා හරි කොහෙන් හරි තමයි එන්නේ. මෙහේ වැව් 17ක් තියෙනවා අපි හැමදාම පාලකයන්ගෙන් ඉල්ලුවේ මේ වැව් ටික හාරලා දෙන්න. වැව් පෝෂක ප්‍රදේශවල ඉඳලා වැවට වතුර එන ඇලවල් ටික හදලා දෙන්න කියන දේ විතරයි. ඒත් තවමත් අපිට ඒ දේ කරලා දීලා නෑ. මෛත්‍රීපාල මහත්තයා යාපනේට වතුර දෙන්න කියලා මොරගහා කන්ද හැදුවා එතුමාටත් අපිව අමතක වුණා. එතුමා මුලතිව් අමතක කරලා තමයි වතුර උඩහට ගෙනියන්නේ.

මේ වැව් වලට වතුර දෙන්න කියලා අපේ සල්ලි දහස් ගානක් වියදම් කරලා කිවුල් ඔය සංවර්ධන යෝජනා ක්‍රමය කියලා එකක් පටන් අරගෙන ඔෆිස් එකක් දාලා මිනිස්සු දහස් ගානකට රස්සා දීලා ඔහේ ඉන්නවා. කෙරෙන වැඩක් නෑ. අපරාදේ යන්ත්‍ර සූත්‍ර නිකං දිරලා යනවා. කෝ කිවුල් ඔයක්? ඒසී බේසී දාගෙන සේවකයෝ කාමර අස්සේ ජවුසන් නටනවා.

මෙහේ මිනිස්සු වර්ෂාව නැති කාලෙට ධීවර රස්සාව තමයි කරන්නේ ඒත් වැව් වල වතුර නැතිවෙනකට කොයින්ද මාළු. මෙහේ තන්නිමුරුක්කු කියලා විශාල වැවක් තියෙනවා. ඒක තියෙන්නේ කැලේ අස්සේ සිංහල මිනිස්සුන්ට ඒකේ මාළු අල්ලන්න දෙන්නේ නෑ. දෙමළ මුස්ලිම් අය විතරයි අල්ලන්නේ. ඔන්න මහත්තයෝ අද කිව්වා කියලා හිතාගන්න ඊළඟ ජාතිවාදී රණ්ඩුව පටන් ගන්නේ මෙන්න මෙතනින්’ පියවංශ ආයෙත් කතා කළා. මිනිහා ඉන්නේ තරැහින්. මිනිහා කියන්නෙනම් යුද්ධෙ තිබුණ නම් හොඳයි කියලා. මේ මිනිස්සු විඳින අපා දුක් වල හැටියට එහෙම හිතන එක සාධාරණයි.

සුරේඛා සඳමාලී

වැලිඔය පෝෂණය

‘මම උදේණි කුමාරි. කොවිඩ් වලින් පස්සේ මහත්තයාට වැඩ නෑ. මහත්තයා මේසන් වැඩ තමයි කළේ. ඉතිං අපි පළතුරු ටිකක් එළවළු ටිකක් අරගෙන පාරට ආවා. ඇවිත් කඩ ලෑල්ලක් දැම්මා. ඒත් පහුවදාම අලි කඩේ කැඩුවා එළවළු පළතුරු ටික අලි කෑවා. අපි අනාථ වුණා. ගෙදර පොඩි දෙන්නෙක් ඉන්නවා. පෙර පාසල් යනවා ලොක්කා. ඒත් අවුරුද්දෙන් පස්සේ ගියේ නෑ. ජනවාරියේ ඉඳලා අපිට පෙර පාසල් ගාස්තුව ගෙවන්න බැරිවුණා’

උදේණි කුමාරි මට හම්බවුණේ සපුමල්තැන්නට හැරෙන කිට්ටුව තියෙන හන්දියේ කඩලෑල්ල ගාවදී. වැලිඔය කාන්තා සමිතිය තමයි මේ කඩ පේලිය අටවගන්න උදව් කරලා තියෙන්නේ. ගමේ හැදෙන එළවළු ටික පළතුරු ටික මිනිස්සු මෙතනට ගෙනත් විකුණ ගන්නවා. ඒත් වැලිඔයට උරුම අලි ප්‍රශ්නය නිසා දැන් ඒකටත් කනකොකා අඬලලා.

ඉඩම් නොමැතිකම දුප්පත්කම නිසා දකුණේ බොහෝ ප්‍රදේශවලින් මේ බිමට මිනිස්සු සංක්‍රමනය වුණා. දැන් යුද්ධය අවසන් වෙලා. ඒත් තවමත් මිනිස්සු මෙහෙට එනවා ඉඩම් හොයාගෙන. අලුත් ජීවිතයක් හොයාගෙන. එහෙම ආපු කෙනෙක් තමයි මධුෂිකා ලක්මාලි. ඇය මිහින්තලේ. ඇය කසාද බැඳලා තියෙන්නේ වයස 19න්. මම ඇහුවා මෙච්චර අඩු වයසකින් ඇයි කසාද බැන්ඳේ කියලා.

‘අම්මා විතරයි හිටියේ, තාත්තා නෑ, පවුලේ හයයි. අක්කලා තුන්දෙනයි නංගියි මල්ලියි මායි. පළවෙනි දරුවා ලැබෙන කොට වයස 21යි. දැන් ඉතිං පසුතැවෙනවා බැන්ඳ එක ගැන. ඉගනගත්තේ නැති එක ගැන. ඒත් කරන්න දෙයක් නෑ දැන්. මට ළමයි දෙන්නෙයි එක්කෙන් තුන වසරේ. දැන් මට ඕනී මේ ළමයි දෙන්නට උගන්වන්න. ඒත් ඉතිං ජීවිතේ අමාරුයි. මේ කරන කඩෙන් සමහර දවසට රුපියල් 500ක් සොයාගන්න බෑ. අපිට දවසට වියදම රුපියල් 1500ක් යනවා. ඉතිං එහෙම දවසට එක වේලක් කාලා ජීවත් වෙනවා.’

‘මෙහේ සමහර පවුල් ඉන්නවා දවසම කැඳ එකක් හදාගෙන බීලා ජීවත් වෙන. අපි අපි ළඟට එන අම්මලාට මෙහෙම කන්න මෙහෙම පෝෂණය ගන්න කියලා කිව්වට ඒවා කරන්න එයාලට ආර්ථිකයක් නෑ. අඩු දරු උපත් වාර්තා නොවුණට ඉපදුනාට පස්සේ දරුවන්ට පෝෂණය අඩුයි. ඒකට හේතුව ආර්ථිකය. ගොඩක් අය කුලී වැඩ කරන්නේ. දැන් මිනිස්සු කුලී වැඩක්වත් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට ඒවට වියදම් කරන්න සල්ලි නෑ. ඉතිං මේ මිනිස්සු කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. ඉස්සරනම් අඩු වයස් විවාහ ගොඩක් සිද්ධවෙලා තියෙනවා. ඒත් දැන් ඒවා ටිකක් අඩුයි. අපි මවු සමිති හරහා අම්මලා ළමයි දැනුවත් කරනවා’

මාත් එක්ක වැලිඔය පෝෂණය ගැන මෙහෙම කතා කළේ සුරේඛා සඳමාලී. ඇය අම්පාරේ ඉඳලා ඇවිත් වැලිඔය පවුල් සෞඛ්‍ය සේවිකාවක් විදිහට වැඩ කරනවා. ඇය අඩු වයස් විවාහ දැන් අඩුයි කියලා කීවත් වැලිඔය ඇවිද්ද අපිට දැනගන්න ලැබුණේ ඉස්සර වයස 13න් 14න් විවාහ වුණ කතාව දැන් වයස අවුරුදු 15න් එහාට ගිහිං විතරයි තවමත් අඩු වයස් විවාහ සිද්ධ වෙනවා කියලා. නීතියෙන් බැන්ඳේ නැතත් පවුල් කනවා කියලා. ඇත්තටම ඒකට ආර්ථිකය වගේම ඉඩම් පිළිබඳ ප්‍රශ්නත් බලපානවා.

එදා මායිමේ ජීවිතේ විදිහට දකුණේ සිහළුන්ගේ ආදරයට ගෞරවයට ලක්වුණ මේ බිමේ මිනිස් ප්‍රාණීන් අද දකුණට අමතකව ගිහිං. එකපිට එක ආපු කෝවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය මේ මිනිස්සු කබලෙන් ළිපට වීසි කරලා.

වීරකෝන්

ලේ කුයිලය

යුද්ධය නිසා නැවත නැවතත් අවතැන් වුණ ජනතාවක් තමයි වැලිඔය ඉන්නේ. සිංහල දෙමළ ජනවර්ග දෙකේම රුධිරයෙන් මේ වියලි කාෂ්ඨක පොළව පෙගිලා ගිහිං. ඒ ලේ කුයිල තෙත තවමත් මේ මිනිස්සුන්ගේ සිත්සතන් අස්සේ රැව්පිළි රැව් දෙනවා. අපි වැලිඔය වටකරගෙන බලාගෙන ඉන්න දෙමළ ගම්මානවලත් ඇවිද්දා. මේ දෙපිරිසේම සිත් අස්සේ තවමත් වාර්ගික ආතතිය නළියනවා. එකිනෙකා පරයා නැඟිටින්න ඕනෑ කියලා තමයි දෙපාර්ශවයම හිතන්නේ. දෙමළ මිනිස්සු හිතන්නේ සිහළුන් තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකෑවා ඒනිසා ඔවුන් මේ බිමෙන් ඉවත් කරන්න ඕනෑ කියලා. සිංහල මිනිස්සු හිතන්නේ යුද්ධෙ කාලේ මුන් අපේ මිනිස්සු කපලා කොටලා මැරුවා දැනුත් අපිට වෙනස්කම් කරනවා කියලා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් ඇත්ත සංහිඳියා ක්‍රියාවලියක් රටට ඕනෑ. නිවීමේ ක්‍රියාවලියක් රටට අවශ්‍යයි කියලා තමයි මටනම් මේ සංචාරයේදීත් හිතුනේ.

‘වැලිඔය ඉඳලා නැඳුන්කර්නි පැත්තට යනකොට අපිට රා තැබෑරුමක් හම්බ වුණා ඒකේ හිමිකරුවා සින්දු සන්. මාර ලස්සන නමක්. ඒවගේම ලස්සන ජීවිතයක්. මගේ නම සින්දු සන් අපි ඉන්නේ කට්කුලම්, මම දැන් අවුරුද්දක විතර ඉඳලා මේක කරනවා. ඒත් මම ආස ෆිල්ම් කරන්න.’ සින්දු සන් අමාරුවෙන් තමයි සිංහල ගැටගහගත්තේ. සින්දු සන්ගේ යාළුවා අපිට උදව් කළා සින්දුගේ භාෂාව තේරුන් ගන්න. යාළුවා කොළඹ සෑහෙන්න කාලයක් ජීවත්වුණ කෙනෙක්. ඔහු කොළඹට ආසයි කැමතියි. ඒකට හේතුව කොළඹට ගියොත් අතට සල්ලී එන නිසා.

සින්දු සන්

වැලිඔය ගම්මාන 28 ක පවුල් ඒකක 4200ක ජනගහනය 11554ක් ඉන්නවා. එයින් 5729ක් පිරිමි, 5824ක් ගැහැණු. මේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්න ජීවිත දියුණු කරන්න කරන්න තියෙන්නේ මහා ලොකු වැඩ නෙවෙයි. ප්‍රධානම දේ මේ වැව් 17 වාරික්‍රමයක් මාර්ගයෙන් පිරවීම. එහෙම බැරිනම් වැසි ජලය රඳාපවතින්න මේ වැව් හාරන්න ඕනී. දෙවෙනි එක මේ ජලාශ මත්ස්‍ය පැටවුන්ගෙන් පෝෂිත කරන්න ඕනෑ. ඊළඟට මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම කරන්න ඕනෑ. වැලිඔයේ හොඳටම හැදෙන්නේ අඹ. ඒක තමයි මගේ නිරීක්ෂණය. වැලිඔය අඹ කලාපයක් කිරීම තමයි හොඳම දේ. ඊළඟට කජු වගාව ප්‍රචලිත කිරීමත් වැලිඔය ගොඩදාන්න පුලුවන් තවත් විදිහක්. වැල් දොඩම් වගාවත් මෙහේ සරුයි. වැල් දොඩම් ගෙඩියට අද ලෝකය පුරාම විශාල ඉල්ලුමක් තියෙනවා. ඇයි අපි මේවා ගැන නොහිතන්නේ. මේවා ගැන හිතනවා නම් වැලිඔයට උරුම කරුමය අවසන් කරන්න අමාරු නෑ.

Social Sharing
නවතම විශේෂාංග