මල් කෙල්ලෝ ගැන..!

මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා. මමත් පොඩි කෙල්ලක් කාලේ සුජානි මේනකා සතයෙන් සතේ… රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට සල්ලි එකතු කරනවා ඇති කියලා. කවදාවත් මැටි කැටයක් හිමි නොවූ මට කවදාක හෝ මැටියෙන් සෑදූ කැටයක් බිඳ බලන්න ආශාව ඇති කරේ ඇයයි. එයා දැන් ලොක්කියක්. නිකම්ම ලොක්කියක් නෙවෙයි. එයා විවිධ චරිත වලට පන පොවනවා.

ගම්පෙරළිය ටෙලිනාට්‍යයේ අනුලාට පන පෙවූ තරුණ ගැහැනිය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක ගිරයට හසු වූ ගැහැනියකගේ ජීවිතයට පන දෙනවා. ඈම ඉරිදා රාත්‍රියේ අසිත… අසිත… කියමින් ටියුශන් ගුරුවරයෙක් පසුපස දුවගෙන යනවා විතරක් නෙවෙයි, චිත්‍රපටියක මිනී එම්බාම් කරනවා. අහම්බයෙන් සැබෑ ජීවිතයේ දී දැකපු ඇයම ඒ චරිත ඔක්කොම බිම තියලා හිනා වෙන්නෙ නිහතමානී විදිහට. චාන්දනී සෙනෙවිරත්න, ඔබේත් මගේත් ආලින්දයට කී වරක් නම් එන්න යන්න ඇතිද?

සඳක් වගේ සුන්දරම මවකටත්, ආකර්ශනීය කටහඬක් වගේම පෞරුෂයකටත් හිමි පියෙකුට දාව උපන් සුන්දර කෙල්ලක් රාහුල හාමුදුරුවන්ගෙ ආදරය ඉල්ලලා මුරණ්ඩු විදිහට පස්සෙන් යද්දි මම ඒ ටෙලිනාට්‍යට පාදක වෙච්ච පොත අරගෙන කියවලත් තියනවා. පුද්ගලික ජීවිතයේදී විවිධ අවස්ථාවන් හි හමු වී ඇති අමාට තියෙන්නෙ ලස්සන ලොකු ඇස් දෙකක්. බෝ කොලයක් හැඩය ඇති මූන දෙපැත්තෙන් වැක්කෙරෙන රැලි ගැහුන කොන්ඩ කැරලි එක්ක එයා දිහා ආයෙ ආයෙ බලන්න කුතුහලයක් ඇති වෙනවා.

රංගනයේ විශිෂ්ට දක්ශතා ඇති කෞශල්‍යා ප්‍රනාන්දු මෙතෙක් සැබෑ ජීවිතයේ හමු වී නැතත් විවිධාකාර චරිත තුළ අපි කොච්චර නම් ඇය පන පෙවූ කාට හෝ අයත් කතා වෙනුවෙන් කොච්චරවත් තැවිලා, හිනා වෙලාත් ඇති.

දිනක් නැත්නම් දෙකක්, හමු වී හිනැහුන, බොහෝ කලක් සිට දන්නා හඳුනන්නවුන් විදිහට කයියක් ගහගනෙ ඉඳිය හැකි සමාධි… සමහර විට ඔබටත් මුන ගැහිලා ඇති.

පතාක යෝධයන් අතර හිදිනා රන්දි… ඔබටවත් මටවත් මෙතෙක් රංගන ශිල්පිනියක් ලෙස මුන ගැහී නැති බව සහතිකයි. ඈට පුදුමාකාර තරමට විහිලු කතා කියන්නට, අපිව හිනස්සන්නට පුලුවන්. ඇය නොවෙන්නට මේ සටහන ලියවෙන්නේ හෝ නැති වෙයි.

කෙසේ නමුත්. මේ සියලු දෙනාම අපි කවුරුවත් නොදැකපු මුහුනුවරකින් කළඑළි බහින්න ලෑස්තියි.

මෙතෙක් වේදිකා නාට්‍යයක් නරඹා නැත්නම්, නාට්‍ය අවසන් වූ පසු ශිල්පී, ශිල්පිනියන්ට සුබ පැතීමේ ප්‍රහර්ෂය විඳ නැති නම්.. ඒ අත්දැකීම කවදාක නමුත් විඳින්නට අමතක කරන්න එපා. විඳපු අයට නැවත විඳින්නත්, නොවිඳපු අයට හා හා පුරා විඳින්නටත් යන්න…
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” පෙන්නන්න දැන් හොඳටම ළඟයි.

සටහන: නිලූකා බ්‍රැන්ඩන්

“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය”

අධ්‍යක්ෂණය – සචිත්‍ර රාහුබද්ධ
නිෂ්පාදනය – තිලක් අබේසිංහ

2023 මැයි 19 | 20 | 21
සවස 7.00 ට
ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී

 

Social Sharing
අවකාශය නවතම