ආත්මයෙන් ම ලියපු ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’

– ඩිල්ශානි චතුරිකා දාබරේ –

සාමාන්‍යයෙන් කෙටිකතා එකතුවක් පළමු නිර්මාණයේ සිට පිළිවෙළට අවසානය වන්තෙක් මම කියවන්නේ හරිම අඩුවෙන්. එක්කෝ, පටුන කියවා මාතෘකාවක් තෝරා එය කියැවීම පුරුදු සිරිත. නැතිනම්, හිතුමනාපෙට මැදින් පෙරළා අහුවෙන නිර්මාණය කියැවීම අනෙක් විදිය. ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’ කෙටිකතා සරණියෙන් මං මුලින් කියෙව්වෙ තුන්වෙනි කතාව. ඒ ‘මායාවී’ යි. පොතේ මං කියෙව්ව පළවෙනි කතාව විදියට මායාවී කියෙව්ව එක කොච්චර හොඳද කියලා මට හිතුණේ, පොත ගැන first impression එක ලබන්න ඒක හොඳටම ගැළපෙන හින්දා. කෙටි කතාව සම්පූර්ණයෙන් කියවලා ඉවරවුණාම මට හිතුණේ එක ම දෙයයි. ඒ, මේ කතාව ලිව්වට පස්සෙ සුදර්ශන සමරවීරට ආත්මයක් ඉතුරු වුණාද කියන එකයි. කතුවරයා තමන්ට කියලා මුකුත් ඉතුරුකරගන්නෙ නැතුව, මුළු ආත්මයෙන් ම ලියලා වගෙයි දැනුණේ.

කතාකලාවෙනුත්, භාෂා රටාවෙනුත්, ජීවිත නිරූපණයෙනුත්, ලෝකය දකින අර විචාරක උපහාසාත්මක දැක්මේත් එකතුවක් සුදර්ශනගේ මේ කෙටි කතා දරනවා. එක ම කතාව ඇතුළෙ වෙන වෙන ම කුඩා අනු ප්‍රබන්ධ ගොඩනගමින්, ඒවා එක මොහොතක දිය කරලා අපට ‘ඔහෝ ! මේකනෙ මේ පොයින්ට් එක’ කියල හිතන්න සලස්වමින්, වටකුරු – ඉඩ ඇති – හැඩ ඇති කතා අංශු ගොඩක් එක් කරමින්, ඒ සියල්ල එක ම හැලියක බහාලා, උයාලා පිහාලා, අනුපාන මුසු කරාලා, උණු උණුවේ කලාත්මක පරිචයෙන් යුතු කෙටිකතාවක් නිමකරන එක සුදර්ශනගේ ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තයෙ’ න් අපට පෙනුණු පළමු සුලකුණ යි. කතාව ගොඩනගන්නට කලින් කරන භූමි නිරීක්ෂණ, අතුපතුගෑම්, අහුකොන් ඉවත්කිරීම්, තෝරාබේරා ගැනීම්, පිටිය පුරා පැදුරු එළා එක ම දිශාවකට එහි රටා විවීම්, චරිත වෙත සම්පූර්ණ බලය පැවරීම්, ඒනිසා චරිත එකතුවෙලා කතුවරයාව බැඳල දාල තමන් කතාව කරගෙන යාම්, කොහෙන් කොහෙන්දෝ සොයා නෙළාගත්තු පන් ගස් එක් කර අවසානයේ ඒ සියල්ල අර එක ම මාගලට තියලා වියල කදිම පැදුරක් නිමවීම් ආදියෙන් සුදර්ශන වැඩි වැඩ කොටසක් කරලා. ඒනිසා, මහන්සි වෙලා ලිව්ව කතාවල දහඩිය ලකුණු පේනවා.

සිරගෙදරක මිනිස් ජීවිත, කුරුලු කෝණයක ඉඳන් බිම් මට්ටමේ කෝණයක් වෙත සැරින්සැරේ හුවමාරු වෙමින් ගෙන එන කතාවක්, ‘මායාවී’. සාමුහික පැවැත්මක ඉඳන් කේවල පැවැත්මක් ගාවට කැමරාව විතැන් වෙනවා මේ කතාවෙදි. එක ම මිනිසා එක ම මොහොතෙදි විවිධ මූඩ් ගන්න විදිය, දුක ඇතුලෙත් සන්තෝසෙ විඳින විදිය, චරිත එකපාරටම කුජීතවෙලා යන්න බලපාන ඇසිල්ලක දේවල් කතුවරයා බලන් ඉන්නෙ නොසෙල්වී. ඒ මිනිස්සු කියන කතා අපිට ගෙදර කාමරේ ගාවට ඇහෙනවා ඒනිසා. එක කොටුවක් ඇතුළේ(රටක) ජීවත්වෙමින්, ඒ කොටුව ඇතුළෙ තියෙන තව කොටුවක(හිරගේක) මිනිස්සු, තමන්ගෙ ඔළුවෙ තියෙන බිත්තිවලට කොටුවෙලා ජීවත්වෙන්න දරන වෑයම අස්සෙන් මායාවකුත් ඔබ්බවන කතාවක් ‘මායාවී’. කියන්න ඕනෙ මොනවද එපා මොනවද වගේ සීමා වෙන්න කැමති නැති කතුවරයා, ඒ නිදහස කෙටිකතාවෙදි ලබනව. චරිතෙට කලින්, චරිතෙ හැසිරෙන හැටි කියන්නත්, තමන් සමාජ දේශපාලන සංසිද්ධි ගැන දරන අදහස කියන්නත් ඔහු මෙවැනි වාක්‍යය යොදාගන්නව. මේ වාක්‍යය පටන් අරන් තියෙන ස්වභාවෙ නෙමේ මතකෙ හිටින්නෙ ඉවරකරලා තියෙන ස්වභාවයයි.

“මේ වෙලාවෙ නිලවුෆර් අත්දෙක පිටිපස්සට බැඳගෙන සරම දණිහට ටිකක් පාතට ඉස්සෙනකං උස්සගෙන ඇවිද ඇවිද එහෙට මෙහෙට – නතර වෙවී අතක් දික්කර කර වීරවංස මහත්තය ජාතිය අමතනව වගේ සුපර්ණක අමත අමත හිටියෙ”

සුදර්ශනට මේ ඇතැම් කතා ඔළුවට ම වැදිලා ඇඟටම ආරුඪ වෙලා ලිව්වා වෙන්න ඕනෙ. කතාවෙ සැකිල්ල හදල ඒක ගැන ම හිත හිත ඒකෙම ජීවත්වෙලා ලිව්වා වෙන්න ඕනෙ. මොකද එක මොහොතකට යන පාරෙන් පිට පනින බවක් පේන්නෙ නෑ. කෙටිකතාවල බස හැසිරවීමේ සෙල්ලමත් ඒකට අදාළයි. භාෂා ජිඟිරිබිරිස් එක, ඔහු කරන්නේ හොඳ අවධානයෙන්. ඔහු කෙටිකතාව ලියනවා මදිවට, කතාව ඇතුළේ ඉඳන් පාඨකයාට පේන්න තෙයි තෙයිත් නටනවා. උදාහරණයක් විදියට කතාව ඇත්තේ සර්පයන් ගැන නම්, කෙටිකතාවේ චරිතයක් ඈනුමක් ඇරියත් කතුවරයා කොහොමහරි සරුපමය දෙයක් ඒක කියන්න යොදාගන්නවා, “සර්පයෙකු ගොදුරක් ගිලින්නට කට ඇරියාක් සේ ඔහු හායි ගා කට ඇරියේය” කියල ඔහු ලියන්න ඉඩ තියෙනවා. ‘පුත්තලං ලුණුවිලේ’ කතාවත් ඒ වගේ. මේ, ‘තේමාව අරා සිටීමේ ලකුණ’ මට සිහිකරවන්නේ (පුරාතන ගද්‍ය ප්‍රියකරන්නෙකු නිසා විදේශ රචකයෙකු සිහිනොවීම ගැන අපහසුවක් වෙතොත් කමන්න) සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමිගේ කතා රටාවයි.

‘කාල යන්ත්‍රය’ තේමා දෙකක් එක මත එක ඝට්ටන කතාවක්. ප්‍රාග් ඓතිහාසික කාලෙ එහෙම නැත්නම් දඩයම් යුගය එක් පැත්තකිනුත්, නූතන ලෝකය එහෙම නැත්නම් කාල තරණය අනෙක් පැත්තෙනුත් නිරූපිත කතාවක්. කාලය හා අවකාශය කියන දේවල් පාඨකයට ඇත්තටම දැනෙන්න ලියපු කතාවක්. පාඨකයා කාල යන්ත්‍රයෙ ඉන්නවා කියලා දැනෙන කතාවක්. ස්ථර ගලවන්න පුළුවන් කතාවක්. මොන යුගයට ආවත් දඩයක්කාර මානවයා නොනැසී නූතනයේත් ඉන්න වග පෙන්වන කතාවක්. පියා තලගොයි දඩයම් කළා වගේ පුතාත් වඳුරන් දඩයම් කරනව. ඒ දෙතැන දී ම ඒ දිහා බලා ඉන්නා කාන්තා පාර්ශ්වය මැරිලා වැටෙනවා. මේ කතාවෙ උපහාසාත්මක දෙය නම්, නූතන මිනිහා ආදි මානවයට පොලුවලින් පහර දෙන එකයි. නූතනයෙ ඉන්න මිනිහා මේ වෙනකම් ආ ගමනෙදි ලණු කෑව ආදි මානවයට පොලුවලින් නෙමේ මඩුවලිගෙන් තැලුවත් මදි කියා කතුවරයට හිතෙන්නැති. කතාවෙ උච්චස්ථානය – මව මරණාසන්න හුස්ම ඇඳීමත්, බල්ලා තලගොයා ඇල්ලීමත්, නවයා බල්ලාගෙ කන කැපීමත්, පුතා පියාගේ කනින් අල්ලාගෙන ඇඬීමත් යන සියල්ල ම එක ම ක්ෂ්ණික මොහොතකට අරගැනීමයි. මෙහි සුදර්ශන කරන භාෂා හරඹයට උපුටනයක් මෙන්න.

“එවෙලේ ම හුඹහ බිඳ හොස්ස දමා බලද්දී ගොයා නයා වී නවයාට පෙනේ පිප්පුවේය. නවයා නයාගෙන් බේරුණේ අනූනවයෙනි. එදා සිට නවයා ගොයා සමඟ නයි වයිරෙනි”

මේ කෙටිකතා කිහිපයක ම මුල ඉඳන් අග දක්වා ම අපට පෙන්නුම් කරන එක් දිශාවක් තියෙනවා. එක් රැහැනකට එකතුවෙනවා අවසානයෙ සියල්ල. ‘මේ එළි බලාගෙන මේ පාරෙ යන්න’ කියලා කතුවරයා මුලදි ම නොකියා කියනවා. අපි ඒ එළි බලාගෙන යද්දී ඔහු වෙන එළිත් අපිට පෙන්වනවා. ඔයාකාරයෙන් ඒ එළි බලබලා ගිහින් ඔළුව කුරුවල් කරගෙන කතාව අවසානයට ආවම, අර මුලදි ම කිව්ව එළිය ආයේ පේන්න ගන්නේ, ‘මෙන්න මේකයි මං අර කිව්ව එළිය’ ය කියල කතුවරයා කියන හඬින්. ඒනිසා කතුවරයා මේ කතාව මෙහෙම ගෙතුවේ ඇයි, මේ දේවල් කතාවට යොදාගත්තෙ ඇයි, වැදගත් නෑ කියල හිතෙන දේවල් වැදගත් සිදුවීම් තරමට ම ලිව්වෙ ඇයි වගේ ප්‍රශ්නවලට පිළිතුරු කතාවසානයෙදි ලැබෙනවා. එක කෝණයකට, එක දිශානතියකට, එක ගමනාන්තයකට යන පරිද්දෙන් කතාව මුල ඉඳන් තමන්ගෙ පීල්ලට ගන්න සුදර්ශන සමත්. ‘කාලයන්ත්‍රය’ත් එහෙම කතාවක්.

‘සමියගේ ගේම’, කියවන් යද්දි මට මතක් වුණේ ‘ජෝන් සීනා අපෙ පොඩි එකාගේ ඔළුවට ගහලා’. තාක්ෂණයේ හිනිපෙත්තට ම නැග්ගම, ඒකෙන් තොර ලෝකයක් තමන්ට නොපෙනී යද්දි මිනිසුන්ට වෙන දේ, සුදර්ශන ලියන්නෙ ගේමට ම බැහැලා. මුළු ජීවිතේ ම ‘නීඩ් ෆො ස්පීඩ්’ කරන් කම්පියුටර් ගේම ගහන සමියා උන්මන්තක ස්වභාවයකට පත්වෙලා. කතාව අපිට කියන භාෂිතටත් අන්තිම වෙද්දි පිස්සු වගේ. කතුවරයත් උන්මන්තක ස්වරූපෙන්ම ලිව්වද කියල වෙලාවකට හිතෙනවා. කියවන අපිත් කතාව අවසානේ ඔල්මොරොන්දන් වෙනවා. මේ කෙටි කතාවෙදි කතුවරයා ගේමෙ දුවන ගමන්, පාඨකයවත් රේස් දුවවනවා. අන්තිමේ අපිට හිතෙන්නෙ අපි ඉන්නෙ වෙන කොහෙවත් නෙමේ, කතුවරය අපි එක්ක කරන නීඩ් ෆො ස්පීඩ් ගේම් එකක් ඇතුළෙමයි කියල. මේ සෙල්ලම කරන්න ඔහු භාෂාවෙත් පිහිට ලබනව.

“නීඩ් ෆෝ ස්පීඩ් එක දෙක තුන. හොට් පර්සුයිට්. නීඩ් ෆෝ ස්පීඩ් හයි ස්ටේක්ස්, අන්ඩග්‍රවුන්ඩ්, නීඩ් ෆෝ මෝස්ට් වෝන්ටඩ්, කාබොන්, නීඩ් ෆෝ ස්පීඩ් අන්ඩර්කවර්, සිෆ්ට්, ද රන්, රයිවල්ස් කියන හැම එකක් ම වගේ තිතට ම මිනිහ තිත වෙනකම්ම ගැහුවා. ඔෆිස්සෙකේ අනිත් උන්ට මිනිහා තිත්ත වෙලා ම ගියත් සමියා ගේමට තිත තිබ්බෙ නෑ”

කතාව ඇතුළෙ ඉන්න අයත් තව කතා ගොතනවා. හරි කතාව හොයන්න ගිහින් පාඨකයා අන්දුන් කුන්දුන් වෙනවා.

‘පොළොං පෙම්බර අහස් සවාරිය’ ත්, ‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය’ත්, අඩු වැඩි වශයෙන් පාර ප්‍රබන්ධ ලකුණු සහිත කෙටි කතා. කතුවරයා මැදිහත්වෙලා පාඨකයා අමතනවා. ප්‍රබන්ධය ඇතුළෙ ප්‍රබන්ධය ගොඩනගනවා. ප්‍රබන්ධයත් යතාර්ථයත් එක්ක කියවන්නාට ගනුදෙනු කරන්න සිද්ධවෙනවා. මේ දෙකෙන් පොළොං කතාවෙ වියමනට මං වඩා ප්‍රියයි. කතාව පටන්ගන්නෙ කතන්දරේ අගින්. මැද හරිය තමා කතා ශරීරෙ. අන්තිම වෙද්දි, ප්‍රබන්ධය සහ පාඨකය එක්ක කතුවරය කතාබහ කරනවා. උකුසු – පොළොං ගනුදෙනුව සහ පොළොං – විජයන්ති ගනුදෙනුව ඕනැ ඕනැ ආකාරයෙන් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. මේ පොතේ එන කලාත්මක කෙටිකතා අතරින් ඉදිරිපෙළ තියන්න පුළුවන් මේ මුළු කතාව ම, පොළොං පාටයි.

පොත අරන් කාලයක් වුණත්, කියවන්න ගත්තෙ ළඟදි. කතා දිග වුණත්, කම්මැලි නැතිව කියවන්න පුළුවන් බව සැබැවි. පොත මිලදී ගත්තාට කිසි පාඩුවක් නෑ කියලා සැනසුම් සුසුම් හෙළිය හැකි.

 

Social Sharing
අවකාශය නවතම