“සාරා ජෙස්මින්” වළලා දැමූ පසු……..!!

-පෝද්දල ජයන්ත-

එදා පාස්කු ඉරු දින මල් මෙන් සරසාගත් මේ කිරි සප්පයෝ පෙරටු කොට ඒ මව්පියෝ තම දේවස්ථානයට ගියේ කෙතරම් ආඩම්බර ලිලාවෙන් ද.? තම දෙව්පියාණෝ මරණින් යළි උට්ඨාන වූ දවස තරම් සොම්නස් සහගත දවසක් කිතුණු බැතිමතුන්වූ ඔවුනට තවත් තිබුණා ද ? එහෙත් අවාසනාවක මහත..! එකී මව්පියන් ගෙන් බොහෝ දෙනකුට නැවත සිය නිවෙස් කරා පැමිණීමට සිදු වූයේ මර ලතෝනිය පමණක් උරුමව හිස් අතිනි.

සැබෑ “අපරාධකරුවෝ” වසන් කිරීමේ මෙහෙයුම තවමත් .!!

වර්ෂ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු කළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ ඇත්ත යට ගැසීමේ නවතම කුමන්ත්‍රණය ගොතා ඇත්තේ එකී ප්‍රහාරයේ ප්‍රබලම සාක්ෂිය වී සිටි “සාරා ජෙස්මින්” නොහොත් “පුලස්ථිනී මහේන්ද්‍රන්” ඈදා ගෙන ය. ඇය ජීවත්ව සිටිනවාද ? නැද්ද ? යන සමාජ සැකයට පිළිතුරු ලෙස ආණ්ඩුවේ පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය දා අපූරු පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ ය. ඉන් රටට ප්‍රකාශකර ඇත්තේ පාස්කුදින ප්‍රහාරයේ සැකකාරියක්ව සිටි “සාරා ජෙස්මින්” නොහොත් “පුලස්ථිනී මහේන්ද්‍රන්” මිය ගොස් ඇතැයි ඇය පිළිබඳව කළ DNA පරීක්ෂණයකින් තහවුරු කර ඇති බවයි. ඒ ඇය පිළිබඳ කරන ලද තුන්වන DNA පරීක්ෂණය යි.

කව්ද මේ ? සාරා ජෙස්මින් නොහොත් පුලස්ථිනී මහේන්ද්‍රන්..!!

සාරා ජෙස්මින් යනු පාස්කු ඉරුදින මිලේච්ඡ ප්‍රහාර මාලාවේ කටුවපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් “මොහොමඩ් හස්තූන්” ගේ බිරිය යි. ඇය ද්‍රවිඩ ජාතික තරුණියකි. ඇයගේ මව වන “රාජරත්නම් කවිදා” ප්‍රකාශ කරන පරිදි “සාරා ජෙස්මින්” මුස්ලිම් ආගමට හරවා ගෙන “මොහොමඩ් හස්තූන්” නමැති මුස්ලිම් තරුණයාට විවාහ කර දීමට ක්‍රියාකර ඇත්තේ “අබ්දුල් රාසික්” නමැත්තෙකි. අබ්දුල් රාසික් කියන්නේ කව්ද ?

“අබ්දුල් රාසික්” යනු “ගෝඨාභය රාජපක්ෂ” ආරක්ෂක ලේකම් ගෙන් වැටුප් ලැබූවෙකි. අබ්දුල් රාසික් යනු “සිලෝන් තව්හිද් ජමාත්” සංවිධානයේ මහ ලේකම්වරයා ය. ඔහු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන සමයේ “ඔත්තු කරුවකු” ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් වැටුප් ලබා ගත්තෙකි. මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ සිටියදී ගැටඹේ “රාජාතෝපවනාරාමයේ” දී මේ බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය.
ඊට අමතරව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ඒ බව පිළිගත්තේ ය. එපමණක් නොව අබ්දුල් රාසික්ගේ “තව්හිද් ජමාත්” සංවිධානයට මාලිගාවත්ත ප්‍රදේශයේ කාර්යාලයක් ඉදිකිරීමට ගෝඨාභය රාජපක්ෂ ගෙන් මූල්‍යාධාර ලැබුණු බව “අබ්දුල් රාසික්” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

මේ කියන “අබ්දුල් රාසික්” වරක් බුදුන් වහන්සේ “මිනීමස්” පවා වළදා ඇතැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලදුව ඔහුට එරෙහිව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොලිස් මූලස්ථානයට පැමිණිලි කළද , අබ්දුල් රාසික්ට එරෙහිව වෙනත් අයට මෙන් “නීතිය” ක්‍රියාත්මක වූයේ නැත. ඉහත අබ්දුල් රාසික් ගැන මෙතරම් දීර්ඝ විස්තරයක් කිරීමට සිදුවූයේ , අප කතා කරන “සාරා ජෙස්මින්” නොහොත් “පුලස්ථිනී මහේන්ද්‍රන්” , “මොහොමඩ් හස්තූන්” නමැති කටුවපිටිය බෝම්බකරුට සම්බන්ධ කළ පුද්ගලයා නිසා ය.

“සාරා ජෙස්මින්” නොහොත් “පුලස්ථිනී මහේන්ද්‍රන්” මෙතරම් වැදගත් සාධකයක් වූයේ ඇයි.? ඇයට කුමක් සිදුවුණිද ?

ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරක කණ්ඩායමේ නායක “සහරාන් හෂීම්” ඇයගේ ස්වාමි පුරුෂයා වූ “මොහොමඩ් හස්තූන්” ප්‍රමුඛ පිරිසට අන්තර්ජාලය හරහා බොහෝ තාක්ෂණික කරුණු කාරණා පසක් කර දීමට පරිවර්තන කටයුතු සිදුකර දී ඇත්තේ ද සාරා ජෙස්මින් විසිනි. ඇයට භාෂා ත්‍රිත්වයෙන්ම කටයුතු කිරීමේ හැකියාව තිබී ඇත. එහෙයින් පාස්කුදින මහා අපරාධයේ ඇත්ත සැළසුම් කරුවන් පිළිබද ඇය නියත වශයෙන්ම දැන සිටින්නියකි. ඇය මිය යෑම එකී අපරාධයේ සැළසුම් කරුවන්ට අත්‍යාවශ්‍ය සාධකයකි.

පාස්කුදින ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු “සයින්දමුර්දු” ප්‍රදේශයේ 2019 අප්‍රේල් 26 සිදුවූ තවත් ප්‍රහාරයකින් දහසය දෙනකු පමණ මිය ගිය අතර, “සාරා ජෙස්මින්” එහිදී මිය ගිය බවට කිසිදු සාක්ෂියක් නොවීය. මිය ගිය පිරිස් වෙන වෙනම හදුනා ගෙන ඔවුන් කව්ද ? කාගේ කව්ද ? යන්න වෙන වෙනම අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබුණි. ඊට අමතරව “සහරාන් හෂීම්ගේ” බිරිය “ෆාතිමා හාදියා” ජනාධිපති කොමිසමට ලබාදී ඇති ප්‍රකාශවලින්ද “සාරා ජෙස්මින්” සයින්දමර්දූ ප්‍රහාරයෙන් පසුව ජීවත්ව සිටි බවට තහවුරු කර තිබේ.

සයින්දමර්දූ ප්‍රහාරයෙන් සාරා ජෙස්මින් ජීවිතක්ෂයට පත් නොවූ බවට තවදුරටත් අනාවරණය කරන කරුණක් වන්නේ ඇය රටින් පිට කිරීමට ක්‍රියා කළ බවට කලවංචිකුඩි පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති “සිද්ධික් අබුබකර්” අත්අඩංගුවට ගෙන රඳවා ගෙන තිබීමයි. එමෙන්ම ඇයගේ මව “රාජරත්නම් කවිදා” පොලීසියට ලබා දුන් කට උත්තරයක සදහන් වන්නේ තම දියණිය සාරා “සයින්දමර්දූ” ප්‍රහාරයෙන් පසු ජීවත්ව සිටි බවයි.

සයින්දමර්දූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් මිහිදන් කළ ස්ථානයෙන් ලබාගත් ශරීර කොටස් සමග ඇයගේ මවගේ DNA සමග දෙවරක්ම සැසදීම් කළද , ඇය මිය ගිය බවට තහවුරු වූයේ නැත. එසේ නම්, වසර හතරකට ආසන්න වෙද්දී නැවතත් ඉහත ශරීර කොටස් ගොඩ ගෙන කරන ලද DNA පරීක්ෂණවලදී තුන්වැනි වරට එය සැසදුණේ කෙසේද ? මේ අයුරින් “සාරා ජෙස්මින්” මිය ගිය බවට තහවුරු කිරීමෙන් පසු තවදුරටත් විමර්ශන කර දැන ගත යුතු කරුණු හෙළිදරව් කර ගැනීම එතනින් කෙළවර වේ. එය අපරාධ කරුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ලියුම්කරුගේ “උපකල්පනය” .!

ඉහත සියලු කරුණු අධ්‍යයනය කරද්දී මතුවන “උපකල්පනය” නම් , “සාරා ජෙස්මින්” දැන් ජීවතුන් අතර නැත. අපරාධකරුවන් කෙසේ හෝ ඒ ප්‍රබල සාක්ෂිය විනාශකර තිබේ. (බොහෝ දේශපාලන ඝාතන වසන් කර ගන්නේ සාක්ෂි කරුවන්ද ඝාතනය කිරීමෙන් බව නොදන්නා කෙනෙකු නැත.) “සාරා ජෙස්මින්” ඝාතනය කොට මිහිදන් කළ තැනකින් ඇයගේ සිරුරු කොටස් “සයින්දමර්දූ” ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ශරීර කොටස් මිහිදන් කළ තැනට රහසින් යොමු කර වසර හතරකට ආසන්න වෙද්දී තුන්වන DNA පරීක්ෂණයට මග පාදා ඇති බවයි. ඉහත මිනී වළ එතෙක් කල් සීල් තබා ආරක්ෂක රැකවල් දමා නොතිබුණි.

දැන් කිව යුතුව ඇත්තේ “ලංකා ඊ නිව්ස්” “රසල් හේවාවසම්” අභියෝග කර ඇති පරිද්දෙන් තුන්වන DNA පරීක්ෂණයට යොදා ගත්තේ යැයි කියන “සාරා ජෙස්මින්ගේ” ශරීර කොටස් සහ එම මිනී වළේ තිබූ අන් අයගේ ශරීර කොටස් වෙන වෙනම ගෙන තියුණු වෝහාරික වෛද්‍ය පරීක්ෂණකට භාජනය කර “සාරා ජෙස්මින්” මිය ගොස් ඇත්තේ කවදා ද ? අන් අයගේ ශරීර කොටස් අනුව ඔවුන් මිය ගොස් ඇත්තේ කවදා ද ? යන්න රටට හෙළිකිරීම යි. එකී වෝහාරික වෛද්‍ය පරීක්ෂණය සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාව තුළ නම් නොවේ. මාතලේ සමූහ මිනීවලේ ඇටකටු කාල නිර්ණයට යැවූ විදියටත් නොවේ.!

 

Social Sharing
නවතම විශේෂාංග