මීනා, ඔබේ මරණයට සුබ පැතුම් – නර්ගීස් දත්

සුබ උපන්දිනක්..!
විවාහයට සුබ පැතුම්..
සුබ දීවාලි උත්සවයක්
ඊද් මුබාරක්
මෙවැනි සුබපැතුම් රාශියක් මට ද ලැබී ඇත. මා ද එසේ සුබ පතා ඇත.
එහෙත්,
ඔබේ මරණයට සුබපැතුම්…!

එය මා විසින් කිසිවෙකුට කියා හෝ කිසිවෙක් මා හට කියා ද නැත. මීනා, ඔබේ අක්කා අද ඔබේ මරණයට සුබපතමින් ඔබට කියන්නේ නැවත කිසි දාක මෙලොවට නොඑන ලෙසයි. මේ ලෝකය ඔබ වැන්නන් ට සුදුසු තැනක් නොවෙයි. මම මධුබාලා ගේ අවසන් ස්නානය ද සිදු කළෙමි. ඇගේ දේහය ට සළුව දැවටුවේ ද මගේ දෑත් වලිනි. චිත්‍රපට නිර්මාණකරු එස්. යූ. සනී මිය යන මොහොතේ ඔහුගේ දෑත් අල්වාගෙන සිටියේ ද ම විසිනි. මා බෝහෝ දෙනා මිය යන අයුරු දැක තිබේ. අසා තිබේ. නමුත් ඒ කිසිවක් මීනා ගේ මරණය තරම් කම්පනයක් මට ඇති කළේ නැත. මට මීනා වෙනුවෙන් ඒ කිසිවක් සිදු කිරීමට අවස්ථාව ලැබුණේ නැත. මා ඒ වන විට සිටියේ ජම්මු ප්‍රදේශයේ ය. එදින උදෑසන පිබිදෙත්ම අඳුරු හැඟීමක් මා වෙලා ගත්ත ද, මට කිසි දාක අමතක කළ නොහැකි මෙවන් අභාග්‍යසම්පන්න සිදුවීමක් සිදු වේ දැයි සිහිනෙන් වත් නොසිතුවෙමි.

නැවත බොම්බායටපැමිණි විගසම මම ඇගේ සොහොන වෙතට ගියෙමි. මම මගේ මව ගේ මරණය සිදු වූ දින ටත් වඩා එදින හැඬුවෙමි. මම එය නවත්වා ගත්තේ මීනා ගේ ම හඬින් හඬන්නට එපා කියන්නාක් මෙන් මට දැනුණු පසුවයි. ඒ සමඟම මට මීනා කියූ මේ වචන ඇසෙන්නට විය.

‘ඔබ හැමවිටම සංචාරය ට සූදානම් වී ගමන් මළු අසුරාගෙන යි සිටින්නේ. ඔබ ආපසු එන දවසේ සමහර විට මම ගොසින් විය හැකියි.’

මීනා මට හැමවිටම ඇමතුවේ ‘අක්කා’ යනුවෙනි. නමුත් අප දෙදෙනා ම වෘත්තීය වශයෙන් හිණිපෙත්තේ ම සිටි අවධියේ එතරම් මුණ ගැසුණේ නැත. ඒ මම ‘Mother India’ හි සාර්ථකත්වය අත්විඳිමින් සිටි අවධිය යි. මීනා ද ‘ශාරදා’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හා විචාරක අවධානය දිනා ගෙන සිටියා ය. එක් දවසක් මා බොම්බායේ ක්‍රිෂ්ණ සිනමාහලේ මංගල දර්ශනයකට සහභාගී වී පියගැටපෙළ බසින විට මීනා හා ඇගේ සැමියා මුහුණට මුහුණ හමු විය. මම ඔවුන් ට සුබපැතු අතර කමල් සහබ් ද පෙරලා මට සුබ පැතීය. නමුත් මීනා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිෂ්ශබ්ද ව බලා සිටියා ය. මෙයින් පුදුමයට පත් වූ මම ඊට පසු දිනයේ දී මීනා ගේ ප්‍රතිචාරයෙන් සිත රිදුණු බව මගේ සොහොයුරා අන්වර් හුසේන් ට කියා සිටියෙමි.

ඔහු පැවසුවේ, ‘බේබි, ඔයා නොදන්නවා වෙන්න ඇති. මම හිතන්නේ ඇයට පිටස්තර කිසිවෙක් ඇසුරු කරන්න ඉඩක් නැහැ’ යනුවෙනි.

විවාහයෙන් පසු දිනක් මට සැමියාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඔහු ඒ වන විට ‘මෛං ඡුප් රහුංගී’ චිත්‍රපටයේ රූ ගත කිරීම් වෙනුවෙන් මදුරාසියට ගොස් සිටියේ ය. පණිවුඩය වූයේ රූගත කිරීම් අවසන් වීමට තවත් ටික කාලයක් ගත වන බැවින් දරුවන් ද සමඟ ඔහු වෙතට පැමිණෙන ලෙසයි. ඉන්පසු මම සේවිකාව ද කැටුව වසර දෙක හමාරක් වයසැති සංජේ ද මාස දෙකක් වයසැති නම්රතා ද සමඟින් ‘ඕෂිනියා’ හෝටලය වෙත පැමිණියෙමි. මීනා හා ඇගේ සොයුරිය මධූ නැවතී සිටි කාමරය ද තිබුණේ අප අසල ම ය. ඇය එදින මා ව සාදරයෙන් පිළිගෙන ‘මම කැමතියි නැවතත් ඔයාට අක්කා කියා අමතන්න’ යනුවෙන් පැවසුවා ය.

එක් දවසක් මගේ සැමියා මා හට පැවසුවේ මීනා ද සමඟ චීන අවන්හලකට යාමට පැමිණෙන ලෙස යි. නමුත් ඈ එදින වෙහෙසට පත්ව සිටින නිසා මා සමඟ යා නොහැකි බව පැවසුවා ය. ඈ එක්වරම පැවසුවේ මගේ දරුවන් දෙදෙනා ඇය සමඟ නවතා යන ලෙසයි. ඊට කැමති වූ මම එසේ කළෙමි. රාත්‍රියේ නැවත අපි පැමිණෙන විට සේවිකාව පැවසුවේ දරුවන් තවමත් මීනා ළඟ බවයි. මම සෙමින් ඇගේ කාමරයට ගියෙමි. දරුවන් දෙදෙනා ම ඇය තුරුලේ සුවසේ නිදමින් සිටින අයුරු මගේ නෙත ගැටුණි. සේවිකාව පැවසුවේ මීනා දරුවන් ගේ කිසිදු කාර්යයක් තමාට කරන්නට ඉඩ නොදී සියල්ල නොපිරිහෙලා තනිවම සිදු කළ බවයි. මට එදින ඇගේ මුහුණේ වූ දීප්තිය දැක ගන්නට හැකි විය. ඈ මවක් වූයේ නම් ජීවිතය කෙතරම් පරිපූර්ණ වනු ඇති දැයි මම සිතුවෙමි.

meena kumari holding the daughter of nargis

ඊළඟ දවසේ දී මට ඇය මුණගැසුණේ නැත. ඈ වැඩ අවසන් වූ සැණින් කාමරයට වී සිටි අතර අප සමඟ තේ පානයට පවා පැමිණියේ නැත. ඉන්පසුව දින ගණනාවක් යන තෙක් මට ඇය දැකිය නොහැකි විය. එක් දිනක් රාත්‍රියේ ඇය හෝටලයේ උද්‍යානය තුළ ඇවිදිමින් සිටිනු මගේ නෙත ගැටුණි. ඇය වේගයෙන් හුස්ම ගනිමින් සිටි අතර මම ඇගෙන් ඒ කුමක් නිසා ද යන්න විමසුවෙමි.

‘මම සමහර වෙලාවට දුම්කොළ හපනවා. ඒ නිසා වෙන්න ඇති’ යනුවෙන් ඈ පැවසුවාය. ‘මීනා, ඒ දුම්කොළ නිසා නෙවෙයි. ඔයා හුඟක් වෙහෙසට පත් වෙලා වගෙයි පෙනෙන්නේ’ මම එසේ පිළිතුරු දුන්නෙමි. ‘ඇයි ඔයා ටිකක් විවේක ගන්නේ නැත්තේ?’

‘අක්කා, විවේක ගැනීම මගේ දෛවය නොවෙයි. මම විවේක ගන්නේ එකම එක වතාවයි.’ ඈ බිම බලමින් කීවා ය. ‘මීනා, ඔයාට මවක් වෙන්න උවමනාවක් නැද්ද? ඔයා කැමති නැද්ද දරුවන් ට’ මම විමසුවෙමි. ‘අම්මා කෙනෙක් වෙන්න අකමැති කිසිම ගැහැණියක් නැහැ’ යනුවෙන් ඇය පිළිතුරු දෙන විට ඇගේ දෑසින් කඳුළු කඩා හැලෙනු මම දුටිමි. මට හැඟුණේ ඒ කඳුළු ඇගේ කතාව කියන්නාක් මෙනි.

එදින රාත්‍රියේ ඇගේ කාමරයෙන් කෝලාහලයක සේයාවක් ද කිසිවෙකු පහර දෙන්නාක් මෙන් හඬක් ද ඇසෙන්නට විය. කාමරයේ දොර වසා තිබූ බැවින් මා හට එදෙසට යාමට නොහැකි විය. ඊළඟ දවසේ අපට දැනගන්නට ලැබුණේ මීනා අසනීපයෙන් පසුවන බැවින් වැඩට යාමට නොහැකි බවයි. මගේ සැමියා රූගත කිරීම් සඳහා පිටතට ගිය පසු මම ඇගේ කාමරයට ඇතුළු වුණෙමි. ඇගේ ඇස් ඉදිමී තිබුණු අතර මට දැනුණේ ඇය රාත්‍රිය පුරාම හඬමින් සිටි බවකි. මා ඇගෙන් කිසිවක් විමසුවේ නැත. මම කෙලින්ම කමල් සහබ් (මීනාගේ සැමියා) ගේ ලේකම්වරයා වූ බාකර් සොයා ගොස් කෙලින්ම ඔහුට කතා කළෙමි.

‘ඇයි ඔයගොල්ලෝ මීනා ව මරා ගන්න හදන්නේ? ඈ ඔයගොල්ලෝ වෙනුවෙන් ඇති තරම් වැඩ කරලා තියෙනවා. මට තේරෙනවා නිළියක් විදියට වැඩ කරන එක කොයිතරම් මානසිකව වෙහෙසක් ද කියල. එහෙම වෙලත් ඈ ඔයගොල්ලෝ වෙනුවෙන් දිගටම වහල් කම් කරන්න ඕනේ ද ? ‘බේබි- (නර්ගීස් ගේ මව චිත්‍රපට නිෂ්පාදිකාවක් බැවින් බොහෝ දෙනා නර්ගීස් ව ඇමතුවේ බේබි යන නමිනි.) ඔයාට තේරෙන්නේ නැහැ. නියම කාලේ ආවම අපි ඇය ව නිදහස් කරන්නම්’
ඉන්පසු දිගටම මීනා හැඬුම සඟවා ගැනීමට උත්සාහ දරනු මට පෙනුණි. ‘මට තේරෙනවා ඔයාගේ වේදනාව, ඔයා හිතට ධෛර්යය අරගෙන ඉන්න. මේ වගේ අඬලා තේරුමක් නැහැ.’ මම ඇයට කීවෙමි.

නැවත බොම්බායට පැමිණි පසු මට මීනා එතරම් මුණගැසුණේ නැත. දුෂ්මන් නම් චිත්‍රපටයේ හඬ කැවීම් සිදුවූයේ අප නිවසේ වූ කුඩා ශබ්දාගාරයක දී ය. ඇය එතනට පැමිණ මා හමුවීමට අවැසි බව පණිවුඩයක් එව්වා ය. මා එතනට ගිය පසු ඈ සියල්ලන්ටම පිටතට යන ලෙස දැන්වූයේ අප දෙදෙනා තනි කරමිනි. ඈ මගේ උරහිසට හිස තබාගෙන දිගටම හැඬුවා ය. මගේ උරහිස ඇගේ කඳුළින් තෙත් වී ගියේ ය.

‘මම කොයි තරම් අවාසනාවන්තියක් ද ? අඩු ගණනේ ඔයා වත් මාව බලන්න ආවේ නැහැ.’ ඇයට පැවසීමට නිදහසට කරුණක් මා හට නොවීය. ඉන්පසුව මීනා කමල් ගේ නිවස අතහැර ඇගේ සොයුරියගේ නිවසේ ජීවත් වන බව අසන්නට ලැබුණි. මීනා චිත්‍රපට දර්ශන තලයක දී කමල් ගේ ලේකම් බාකර් සමඟ ගැටුමක් ඇති කර ගත් බවත්, ඉන් තත්ත්වය දරුණු වූ බැවින් මීනා නැවත කමල් ගේ නිවසට නොයන බවත් ආරංචි විය. දින කිහිපයකට පසුව මත්පැන් හේතුවෙන් ඇගේ අක්මාවේ රෝග තත්ත්වයක් ඇති වී ඇය ව රෝහල්ගත කළ බව ද අසන්නට ලැබුණි. මම ඇය බැලීම ට ශාන්ත එළිසබෙත් රෝහල වෙත ගියෙමි.

‘ඔයා දැන් නිදහස්, ඒත් මේ වගේ මරණයට කිට්ටු වෙන නිදහසක් තෝරා ගත්තේ ඇයි? ‘අක්කා, මගේ ඉවසීමේ සීමාව පැනලා ඉවරයි. මට ඇත උස්සන්න බාකර් ට හයියක් කොහෙන්ද? මම මේ ගැන කමල් සහබ් ට කිව්වම මම හිතුවේ ඔහු එවෙලේ ම මා බලන්න ඇවිත් බාකර් ව රස්සාවෙන් අයින් කරයි කියල. ඒත් එයා කිව්වේ ‘ගෙදර එන්න, ඊට පස්සේ මම තීරණය කරන්නම් කියලා’. මොකක් ද තවත් තීරණය කරන්න තියෙන්නේ ?

ධර්මේන්ද්‍ර ගේ ආගමනය මීනා ට අස්වැසිල්ලක් විය. නමුත් ඔහු ද කෙටි කලකින් මීනා අතහැර දැම්මේ ය. සිත බිඳුණු මීනා නැවත තනිවූවා ය. පෙබරවාරි මස තුන් වැනිදා මීනාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ පාකීසා චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන දිනයයි. ‘අක්කා, ඔයා නිසා වැඩ ඉවරවුණු චිත්‍රපටයේ මංගල දර්ශනය අද. ඔයා අනිවාර්යයෙන් එන්න ඕනෑ.’ මම සිනමා ශාලාවට ගිය පසු මීනා පැමිණ මා පිළිගත්තා ය. නමුත් මගේ සැමියා හදිසියේ රෝගාතුර වූ බව දැනගන්නට ලැබුණු නිසා මට විවේක කාලයෙන් පසුව පිටත් ව යන්නට සිදු විය. චිත්‍රපටය සම්පූර්ණයෙන් නැරඹු පසු ඒ ගැන මගේ අදහස පවසන බවට මම පොරොන්දු වීමි. නමුත් එය සිදුවුණේ නැත. අද ද මට ඒ චිත්‍රපටය බැලීමට හෝ එහි ගීත ඇසීමට තරම් ධෛර්යයක් නොමැත.

මම ජම්මු ප්‍රදේශය බලා පිටත්වීමට දින කිහිපයකට පෙර ඇය ව මුණගැසුණෙමි. ඈ මෙසේ කීවා ය. ‘ඔයා හැමවිටම සංචාරය ට සූදානම් වී ගමන් මළු අසුරාගෙන යි ඉන්නේ. ඔයා ආපසු එන දවසේ සමහර විට මම ගිහිල්ලා වෙන්න පුළුවන්.’ ‘මගේ දුව විවාහ වෙනතුරු අපි ඔයාට යන්න දෙන්නේ නැහැ.’ මගේ පිළිතුර විය.

‘අක්කා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.’ එදින තවත් අය අප සමඟ සිටි නිසා ඇය එසේ කීවා ය. ‘ගිහිල්ලා ආවාම මා ව මුණගැහෙන්න.’ මට ගමනට පෙර දින කිහිපයේ ඇය ව මුණ ගැසීමට නොහැකි විය. යාමට පෙර අප්‍රේල් පළමුවෙනිදා නැවත පැමිණි පසු ඇය මුණගැසීමට පැමිණෙන බව මම ඇයට කියා යැව්වෙමි. නමුත් මා ආපසු එන තෙක් තමා ජීවත් නොවනු ඇතැයි ඇය ඇගේ සොහොයුරිය වූ මධූ ට කියා තිබුණි. නමුත් මධූ එම පණිවුඩය මා හට ලබා දුන්නේ නැත. ඒ පණිවුඩය ලැබුණා නම් මා සැලසුම් කොට සිටි ගමන සිදු වන්නේ නැත.

ඇගේ මරණය මට ආරංචි වූයේ මා ජම්මු හි සිටින විට යි. ඒ ඇසූ මට හුස්ම ඇල්ලීමට පවා නොහැකි විය. ඇයට අවසන් වශයෙන් මා හට කීමට අවැසි වූ දෙය කියා ගැනීමට නොහැකි විය. එම පසුතැවිල්ලෙන් ගැලවීමට මට කිසි දාක නොහැකි වනු ඇත.

ඇගේ අවසාන චිත්‍රපටය වූ ‘ගෝම්තී කේ කිනාරේ’ හි අඩංගු වූයේ ඇගේ කතාව දැයි මට සිතේ. ඇය තනිවම දුක් විඳිමින් තමා ට ද දුක් දුන්නා ය. කිසිවෙකුත් ඇගේ වේදනාව වටහා ගත්තේ නැත. ඇගේ ජීවිතයේ කිසි දා නොපිරෙන හිඩැසක් විය. ඇය ආදරයේ බිඳුවක් හෝ බලාපොරොත්තු වූ අතර එය කිසිදා පෙරලා ඇයට ලැබුණේ නැත. ඈ වේදනා විඳිමින් සිට හුදෙකලාව මරණයට පත්වූවා ය. කිසිවෙකුත් ඇය ගැන කරදර නොවූ අතර සියලුදෙනා ඇගේ ජීවිතයට පැමිණෙන පිටවන ආගන්තුකයෝ වූහ. ඇගේ තනිකම හා වේදනාව දෙවියන් ගේ සිත පවා සසල කිරීමට සමත් වනු ඇත. නමුත් ඇයට දුක් දුන් කිසිවෙකුගේ හෝ සිත සසල වූයේ නැත. ඔවුන් සැමදාම අවංක සිත් රිදවමින් සිටිනු ඇත.

 

 

1972 ජුනි මස ශමා නම් සඟරාවට නර්ගීස් දත් ලියූ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙනි.

සිංහලයට පරිවර්තනය කළේ – බුද්ධි ගයාෂාන් ජයසේකර

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම