රනිල් මට වඩා මානුෂිකයි..!

ranil wickramasinghe

-චින්තන ධර්මදාස-

දැන් මං රනිල්ට කඩේ යන්නෙක්නෙ. ඔව්, මේ වෙලාවෙ රනිල් කරගෙන යන වැඩපිලිවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඒකට ලංකාවෙ වහරෙන් කියන්නෙ කඩේ යනවා කියල. හැබැයි මං හිතන්නෙ රනිල් මට වඩා ලංකාවෙ අර්තයෙන් මානුෂිකයි. එයා කියන්නෙ එයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල. එයා ලිබරල් අන්තයෙන් ගැලවිලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සෝෂල් මාර්කට් පැත්තට එන්න ට්‍රයි කරනවා. මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අලුත් වමේ අයත් (new left) දැන් දැන් බාරගන්න දිශාවක්. අර නෝඩික් රටවල මොඩ්ල් එක කියන්නෙ ඕකට. ඉතිං මරාගත්තට සමාජවාදීන් සහ රනිල් දෙගොල්ලොම විශ්වාස කරන්නෙ එකම ක්‍රමයක්.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සහනාධාර, සුබසාධනය, වෙළඳපොලට රාජ්‍ය මැදිහත්වීම වගේ කාරණා රනිල් පිළිගන්නවා කියලයි කියන්නෙ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන්නෙ යතාර්ථය වෙනුවෙන් තමන්ගේ සමාජවාදී අදහස් යම්තාක් දියාරු කරපු සමාජවාදියෙක්. ලිබරල්වාදියෙක් කියන්නෙ යතාර්ථය වෙනුවෙන් තමන්ගේ අදහස් යම්තාක් දියාරු කරපු ඇනාකිස්‍ට් නැත්තං අරාජිකවාදියෙක්. මං මාව දකින්නෙ ලිබරල්වාදියෙක් විදිහට. වැඩිපුර ලිබටේරියන් නැඹුරුවක් සහිතව. ලිබරල්වාදියෙකුගේ මූලිකම පෙනී සිටීම තියෙන්නෙ පුද්ගල නිදහස, පුද්ගල අයිතිය සම්බන්ධයෙන්. රාජ්‍යය සමාජ උවමනාවෙන් වෙනුවෙන් හෝ පුද්ගලයාට බාධා කරද්දි ඊට ප්‍රතිවිරුද්ධවයි ලිබරල්වාදීන් ඉන්නෙ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙ වැඩි නැඹුරුව තියෙන්නෙ සමාජ අයිතීන් ගැන. පුද්ගල අයිතීන් ඒ වෙනුවෙන් නොතතා හැරෙන්න පුළුවන්.

මං කොහෙත්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි. කොටින්ම බහුතරය හෝ ජනතාව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි කියන්නෙ එකක් නෙමෙයි. ලිබරල්වාදය හැමතිස්සෙම ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය කියන එකත් එක්ක ගැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය බහුතරය මත පවතින සංකල්පයක්. ලිබරල්වාදය පුද්ගලයා කේන්ද්‍ර කරගෙන පවතින දෙයක්.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් උත්සාහ කරන්නෙ ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කරන්න. ඒ අයට වැදගත් වෙන්නෙ ආදායම්වල සමතාවයක් ඇති කරන්න. ලිබරල්වාදීන් ධනවතුන්ගෙන් මුදල් ලබාගැනීමටත්, දුප්පතුන්ට ඒවා නිකං ලබාදීමටත් කැමති නෑ. අවශ්‍ය වූ පුද්ගලයන් හඳුනාගෙන ඒ අයට උදව් කිරීමට ලිබරල්වාදීන් එකග වුනත් සුබසාධනවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් ඒ අය එකග වෙන්නෙ නෑ.

ඉතිං මේ විදිහට රනිල් සහ මගේ විශ්වාසයන් වෙනස්. දැන් කඩේ ගියාට ඉස්සරහට අපි ගැටෙන්න නියමිතයි. රනිල් සමාජවාදියෙක් වෙද්දි මං පුද්ගලවාදියෙක් වෙයි. රනිල් මානුෂික වෙද්දි මං අමානුෂික වෙයි.

 

 

Social Sharing
නවතම විශේෂාංග