වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!


– සහන් කසීර වික්‍රමසිංහ –

හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින, 1973 වසරේ මාර්තු 17 වැනි දින වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ. නිදහස ලබා එන්නේ ඇමරිකානු සෙබළුන් විසි දෙනෙක් පමණකි. නුමුදු ඔවුන් පිළි ගන්නට කැලිෆෝර්නියාහි ට්‍රවිස් වාසර සේනාංකයට රැස් වූ හිතවතුන් සහ පවුලේ සාමාජිකයින් ගණන හාරසියයකට නොඅඩුය. එහි තිබුණේ මඟුල් සිරියෙකි.

මේ නිළ ඇඳුමෙන් සැරසී සේයාරුවට පසුපස හරවාගෙන සිටියේ ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රිම් (Robert L. Stirm) ය. සිරගත ජීවිතයට නැවතීමේ තිත තබා එන ඔහු වෙත ආදරය සහ ප්‍රමෝදය නොසඟවා දිව එන්නේ පසළොස් හැවිරිදි වැඩිමහළු දියණිය ලොරී (Lorrie) ය. ඇය පසුපසින් බෝ (Bo) පුතුණුවන් සමග සින්ඩි (Cindy ) දියණියත් බිරිඳ ලොරෙටා (Loretta) සහ පුතු රොජර් (Roger) ය. දෝරේ ගලන සතුට සහ ආදරය කැටිවුණු මෙම මොහොත 1974 වසරේ දී විශිෂ්ටතම විශේෂාංග ඡායාරූපය ලෙස පුලිට්සර් ත්‍යාගය දිනා ගනී.

නමුත් Burst of Joy හෙවත් ‘දෝරේ ගලන ප්‍රමෝදය’ සේයාරුව පසුපස ඇත්තේ ප්‍රමෝදයෙන් අවසඟ සංවේගජනක කතා පුවතකි. උතුරු වියට්නාමයේ වසර ගණනක් සිරකරුවෙක්ව සිටි ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රිම් හටට සිය බිරිඳ ලොරෙටාගෙන් ලියුමක් ලැබෙන්නේ ඔහු නිදහස ලබා ආපසු ඇමරිකාවට එන්නට දින දෙකකට පෙරය. එනම් ඔහු නිදහස් වන බව තීන්දුව හිමි වූ ය. ප්‍රමෝදයෙන් වියුක්ත වූ ඒ ලියුමෙන් කියැවෙන්නේ ලොරෙටා සහ තමන් අතර විවාහය අවසන් කිරීමටත් වෙනත් කෙනෙක් හා විවාහ වීමට ඇයට අවශ්‍යව ඇති බවත් ය. ඒ අනුව මෙම සේයාරුවේ කෙසේ කුමක් සටහන් වි ඉතිහාසයට එක් වුව ද 1974 වසරේ දී ලොරෙටා තම තීරණය ක්‍රියාවට නැංවූවාය. ඇය රොබට් එල් ස්ට්‍රිම් සමග පැවති විවාහය අවසාන කර වෙනත් අයෙක් සමග එක් වූවාය. කැමරා කාචයෙක ඇඳුණු Burst of Joy නම් සුන්දර සේයාරුව පසුපස වූ සුන්දර නොවන සිදුවීම් දාමය මහපොළව මත එලෙසින් විසඳිණ.

Burst of Joy සේයාරුව පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කළ පසුව එම ඡායාරූපයේ සිටින සෑම කෙනෙකුටම පිටපත බැගින් ලැබෙන්නට සලස්වා තිබිණ. ඔවුන් සියලු දෙනා ම පාහේ එම සේයාරුව සියල්ලන්ට ම පෙනෙන ලෙස තම නිවසේ ප්‍රදර්ශනය කරන්නට උත්සුක වූ අතර එක් පුද්ගලයෙක් පමණක් ඉන් වැළකී සිටියේය. ඔහු වසර පහක් තිස්සේ උතුරු වියට්නාමයේ සිරකරුවෙකුව සිට නිදහස ලබා ආපසු පැමිණි ලුතිනන්වරයෙකි. තම හදවත තව තවත් වේදනාවේ ගිල්වන බිරිඳගේ ද්‍රෝහී බව නිවස තුළ දකින්නට නොහැකියැයි ඔහු පවසා තිබිණ.

Burst of Joy ! ප්‍රමෝදයෙන් දෝරේ ගලා යන බොහෝ ඡායාරූප පිටුපස මෙවැනි කතන්දර තිබෙනවා විය හැකිය. ද්‍රෝහී බව සඟවාගෙන ලෝකයා ඉදිරියේ සුන්දර ලෙස සිනාසිය හැක්කේ ලොරෙටාට පමණක් නොවන බව ද ඔබ අත්දැකීමෙන් ම දන්නවා දවිය හැකිය.

 

Social Sharing
අවකාශය නවතම