පොලිස්පතිට සේවා දිගුවක්..!

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට හට අවුරුද්දක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව මෙම සේවා දිගුවට අදාළ යෝජනාව එලබෙන සඳුදා (19) දින කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.

පොලිස්පති චන්දන වික්‍රමරත්න වයස අවුරුදු 60 පිරීම නිසා ලබන මාර්තු 26දා විශ්‍රාම යෑමට නියමිතව සිටින අතර මේ අනුව ඔහු තවත් අවුරුද්දක කාලයක් පොලිස්පති ලෙස කටයුතු කරනු ඇත.

කෙසේවුණත් මේවනවිට නව පොලිස්පති වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතර සීතල අරගලයක් පවතින බව පොලීසිය තුළින්ම කරුණු වාර්තා වෙයි. මෙම නිළධාරීන් තිදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා තිබීම විශේෂත්වයක් වන අතර පසුගිය දා පැවති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවේ දී නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා වරදකරුවෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. ඔහුට එහිදී වන්දියක් ගෙවීම සඳහා ද අධිකරණය නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හටද පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව චෝදනා පවතින අතර 2022 මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය සඳහා අනුබල දුන්නා යැයි චෝදනාවක් ද ඔහුට විරුද්ධව එල්ලවී ඇත. එම චෝදනාව නිසාම නීතිපතිවරයා ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුනි. එහෙත් දේශපාලන බලපෑම් නිසා එය ක්‍රියාත්මක නොවුණි.

වර්තමාන පොලීසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ යෝජනාව මෙම පොලිස් නිළධාරියා පොලිස්පති බවට පත් කිරීම බවද කරුණු වාර්තා වෙයි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම යෝජනාවට සිය විරෝධය දක්වා ඇතැයි ද වාර්තා වෙයි.

තත්ත්වය මෙය වුණත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති බවට පත්වීමේ සිය උත්සාහය අත්නොහැර ඇති අතර, කොළඹ විරෝධතා මැඬලීම සඳහා ඔහු සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් ඇත.

-කේ. සංජීව-

Social Sharing
නවතම පුවත්